Connect with us

International

නැටූ, ගැයූ ෆින්ලන්ත අගමැතිනියගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘණාත්මකයි.

Published

on

පසුගිය දා ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් ලොව පුරා හුවමාරු වූ ෆින්ලන්ත අගමැති සන්නා මරීන්ගේ මත්ද්‍රව්‍ය පරීක්‍ෂණය සෘණාත්මක වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 36 හැවිරිදි ෆින්ලන්ත අගමැතිවරිය සිය නිවසේ පැවති සාදයක දී තම හිතවතුන් හා නර්තනයේ යෙදෙන වීඩියෝ පටයක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ මුදා හැරිය අතර ඒ සම්බන්ධයෙන් ලොව පුරා මෙන් ම සිය රටේ ද බොහෝ ලෙස විවේචනයට ලක් වුණා. ඇයගේ දේශපාලන ප්‍රතිවාදීන් ඇයට දොස්නැගුවේ ඇය වගකීම් විරහිත ආකාරයෙන් හැසිරෙන බවයි. ඒ සඳහා ප්‍රතිචාර වශයෙන් සන්නා මරීන් කියා සිටියේ, “ඔව්, මම නැටුවා.. මම ගී ගැයුවා.. මම සාදයක් පැවැත්වූවා..! නමුත් නීති විරෝධී කිසිදු දෙයක් සිදු කළේ නෑ!” යනුවෙන්. සිව් හැවිරිදි දියණියක සිටින අගමැතිනිය, විවේචකයන්ට අවධාරණය කර සිටින්නේ, ඇය ෆින්ලන්ත රජයේ ප්‍රධානියා වුවද, ඇය තම විවේක කාලය තුළ මිතුරන් හා පවුලේ අය සමඟ විනෝද වීමට කැමති තම වයසේ සිටින, අන් අය හා සමාන කෙනෙක් බවයි. කෙසේ නමුත් අවසානයේ අදාල සිද්ධිය සම්බන්ධ කරගෙන ඇයට එරෙහි විවේචන එල්ල කළ සියලුදෙනාට ම ඇය නීත්‍යානුකූල අයුරින් පිළිතුරු දී තිබෙනවා.