Connect with us

International

ලෝක ප්‍රකට අවන්හල් ජාලයක ආහාරයක් විෂ වීමෙන් ඇති වූ බැක්ටීරියා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙක් මිය යයි

Published

on

ලෝක ප්‍රකට අවන්හල් ජාලයක් වන McDonald’s හි ‘Quarter Pounder hamburgers’ ආහාරයට ගැනීමෙන් පසු දරුණු ලෙස පැතිර යන E. coli බැක්ටීරියා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සැලකිය ‍යුතු පිරිසක් රෝගාතුරව ඇති බවට පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (22) එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) ප්‍රකාශයක් ද නිකුත් කර තිබුණා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය සැප්තැම්බර් අග දී ආරම්භ වූ බවත් මේ වන විට බටහිර ප්‍රාන්ත 10 ක් පුරා පැතිරී ඇති බවයි.

ඒ අනුව වාර්තා වී ඇති රෝගීන් 49 න් වැඩි ප්‍රමාණයක් කොලරාඩෝ සහ නෙබ්‍රස්කා හි රෝගීන් වන බව සඳහන්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම නිවේදනයෙන් පැයකට පසු මැක්ඩොනල්ඩ්ස් හි කොටස් සියයට හයකට වඩා පහත වැටී ඇති බවයි.

මෙලෙස පැතිර යන රෝගී තත්ත්වයන් අතර වකුගඩුවල රුධිර වාහිනීවලට හානි කරන බරපතල තත්වයක් වන ‘hemolytic uremic syndrome’ තත්ත්වය ද හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම හේතුවෙන් එක් දරුවෙක් ඇතුළු තවත් දස දෙනෙකු රෝහල් ගතකර ඇති බව සඳහන්. කොලරාඩෝ හි එක් වැඩිහිටි පුද්ගලයෙක් මිය ගොස් ඇත්තේ ද එම තත්ත්වය හේතුවෙන් බව සඳහන්.

සමස්තයක් ලෙස වාර්තා වූ රෝගීන්ගේ රෝග ලක්ෂණ E. coli බැක්ටීරියාව හා සම්බන්ධ බවත්, ඔවුන් රෝග ලක්ෂණ පහළ වීමට පෙර මැක්ඩොනල්ඩ්ස් වෙතින් ආහාර ලබාගත්තවුන් වන බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අතරත් විශේෂයෙන් හඳුනාගත හැකිව තිබෙන්නේ රෝගී පුද්ගලයින් මැක්ඩොනල්ඩ්ස් හි ‘Quarter Pounder hamburgers’ ආහාරයට ගෙන ඇති බවයි.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට බලපෑම් කළ හැකි නිශ්චිත අමුද්‍රව්‍ය තවමත් හඳුනාගෙන නොමැති බව සඳහන්. කෙසේ නමුත් දැනට බලපෑමට ලක් වූ ප්‍රාන්තවල අවන්හල්වලින් පෙති කපන ලද ලූණු සහ හරක් මස් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් මැක්ඩොනල්ඩ්ස් USA හි සභාපති Joe Erlinger සඳහන් කර ඇත්තේ, මැක්ඩොනල්ඩ්ස් හි සියලු දෙනාට ම ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් වන බවත් තෝරාගත් ප්‍රාන්තවල අදාළ hamburgers සඳහා භාවිත කරන පෙති කපන ලද ලූණු කල්තියා ම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඇතැම් අවන්හල්වලින් තාවකාලිකව එම hamburgers ඉවත් කිරීමට ද තීරණය කර ඇති බවයි.

එමෙන්ම ‘Quarter Pounder hamburgers’ ආහාරයට ගෙන මේ වන විට පාචනය, උණ සහ වමනය වැනි රෝග ලක්ෂණවලින් පෙළෙන අයෙක් වේ නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

Continue Reading