Connect with us

International

මහා බ්‍රිතාන්‍යයේ අගමැති ලෙස ලීස් ට්‍රස් පත් වෙයි.

Published

on

මහා බ්‍රිතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය ධුරය එරට එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ලීස් ට්‍රස් දිනා ගත්තාය. ඇයට කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන් 81,326 දෙනකුගේ ඡන්දය ලබා ගත් අතර ඇගේ ප්‍රතිවාදියා වූ රිෂී සුනාක් හට හිමි වූයේ 60,399කට ආසන්න ඡන්ද ගණනකි. ඒ අනුව 47 හැවිරිදි ලීස් ට්‍රස්ට අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ ඇයට පක්ෂ නායකත්වය හිමිවීමෙන් අනතුරුවය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වුවහොත් බ්‍රිතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවේර්ටිව් පක්ෂයයි.
කොන්සවේර්ටිව් පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැතියේ ලීස් ට්‍රස් සහ රිෂී සුනාක් අතරේය. රිෂී සුනාක් බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් අමාත්‍යවරයා (චාන්සලර්)යි. රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇත්තෙකි. ඔහුට බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ නම්, එම ධුරයට පත්වූ පළමු ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයා සුනාක් වනු ඇත. පක්ෂ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි. කොන්සවේර්ටිව් පක්ෂ නියෝජිතයන්, පක්ෂ ක‍්‍රියාකාරීන් සහ පක්ෂ සාමාජිකයන් අතරේ ඡන්ද විමසුම පැවැත්වුණු අතර එහි ප‍්‍රතිඵල අද ප‍්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව, ලීස් ට්‍රස්ට පක්ෂ නායකත්වය හිමිවී, අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත්, තරේසා මේ සහ මාග‍්‍රට් තැචර්ගෙන් පසු බ්‍රිතාන්‍යය අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව ලීස් ට්‍රස්ය.