Connect with us

International

තලපති විජෙයිගේ මංගල රැළියට මහා ජන ගඟක්

Published

on

Monara

සුපිරි දකුණු ඉන්දීය නළු, තලපති විජෙයි සිය දේශපාලන ආගමනයේ සුවිශේෂීම පියවරක් ඊයේ (27) සනිටුහන් කළා.

ඒ, මෑත කාලීනව නිල තහවුරු කිරීම් සහිතවම ආරම්භ කළ සිය දේශපාලන ගමනේ මංගල රැස්වීම පවත්වමින්.

එලෙස පැවැත්වූයේ ඔහුගේ නව පක්ෂය වන ‘තමිලග වෙට්‍රි කළගම්’ හි (Tamilaga Vetri Kazhagam – TVK) සමාරම්භක රැළියයි.

ඒ, තමිල්නාඩුවේ වික්‍රවන්දිහි දී.

විජෙයිට ඇති අසීමිත රසිකත්වය ඔහුගේ දේශපාලන ගමන තුළත් කැපී පෙනෙන කාරණාවක් බවට පත්ව ඇති අන්දම, ඊයේ එහිදී ප්‍රත්‍යක්ෂව තිබුණා.

මන්ද, උද්‍යෝගිමත් ආධාරකරුවන්ගෙන් විජෙයිගේ සමාරම්භක රැළිය පිරී ඉතිරී යාම නිසාවෙන්.

එහිදී, දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය චරිතයක් වන තලපති විජෙයි, දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව කළේ දේශපාලන ක්ෂේත්‍රයට සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් යැයි කිවහොත් නිවැරදියි.

විජෙයි සිය දේශපාලන ගමන නිල වශයෙන් ආරම්භ කර මාස අටකට පසුව මෙයාකාරයෙන් සිය පළමු රැළිය පැවැත්වීම විශේෂයි.

එහිදී ඔහු සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය වැනි කරුණු මූලික කොටගත් තම පක්ෂයේ මතය එළිදැක්වීම සිදුකළා.

එමෙන්ම විජෙයි සිය කතාවේදී අවධාරණය කර තිබුණේ, සිය පක්ෂය වන TVK සමාජ සාධාරණත්වය පිළිබඳ මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

“මෙය සිනමා ක්ෂේත්‍රයක් නොවේ. එය යුධ පිටියක්…” මැයෙන් සඳහන් කරමින් තම දේශපාලන ගමන ගැන සුපරීක්ෂාකාරීව සහ බැරෑරුම් ලෙස බලා කටයුතු කරන මෙන් පාක්ෂිකයින්ගෙන් කළ ඉල්ලීමක් ඔහුගේ කතාවේ ගැබ්ව තිබීම කැපී පෙනුණු කාරණාවක් වුණා.

විජෙයි සිය කතාවේදී වක්‍රාකාරයෙන් ඩීඑම්කේ සහ භාරතීය ජනතා පක්ෂය විවේචනය කරමින් බෙදුම්වාදී දේශපාලනයට සහ දූෂණයට එරෙහිව තමා දැඩි ස්ථාවරයක් ගැනීම පිළිබඳව ද කාගෙත් අවධානය යොමුව තිබුණා.

එහිදී ඔහු එය විස්තර කර තිබුණේ, TVK හි පළමු ප්‍රතිවාදියා බෙදුම්වාදී දේශපාලනයේ යෙදෙන “මතවාදී සතුරෙකු” බවත් දෙවැන්නා දූෂිත රජයක් පවත්වාගෙන යන “දේශපාලන සතුරෙකු” ලෙසත් පෙන්වා දෙමින්.

එමෙන්ම නැසීගිය ප්‍රවීණයන් වන එම්.ජී. රාමචන්ද්‍රන් සහ එන්.ටී. රාමරාඕ, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්තවල දේශපාලන කඩාවැටීමේදී හුදු සිනමා නළුවන් ලෙස සමච්චලයට ලක් කළ නමුත් ඔවුන් දිගටම ජනතාවගේ හදවත් තුළ රැඳී සිටින බවයි විජෙයි පෙන්වා දී තිබුණේ.

“මෙහෙ ඉන්න සමහරු දේශපාලනයට එන්න ඕනම පාටකින් පින්තාරු කරනවා. මිනිස්සුන්ව අන්දනවා. හැබැයි යටින් ගනුදෙනු කරනවා.

මැතිවරණ කාලෙට සද්ද දානවා. ෆැසිස්ට්වාදය ගැන කතා කරනවා. ඒ වගේම බහුතර-සුළු ජාතික භීතිකාවන් සමගියෙන් ඉන්න මිනිස්සු අතර ඇති කරනවා…”

එතැනින් නොනැවතුණු විජෙයි රැස්ව සිටි පිරිසට ආවේගශීලීව ආමන්ත්‍රණය කරමින්, දමිළ භාෂාවේ වැදගත්මක ද, පවතින පොහොසත් උරුමයට ගරු කරන සංස්කෘතික පුනරුදයක් පිළිබඳව ද සිය මතය ඉදිරිපත් කර තිබුණා.

විජෙයිගේ මෙම දේශපාලන ආගමනය පිළිබඳව සමීපව අධ්‍යනය කරන බොහෝමයක් පිරිස්ගේ මතය නම්, 2026 දී පැවැත්වීමට නියමිත තමිල්නාඩු මැතිවරණයේදී TVK තීරණාත්මක බලපෑමක් වනු ඇති බවයි.

Continue Reading