International
චීටා නැවතත් ඉන්දියාවට.
වසර 70කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජන්ම දිනය ඊයේ දිනයට (17) යෙදී තිබුණු අතර, ඒ නිමිත්තෙන්, අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන්, නැමීබියාවෙන් ගෙනා චීටා සතුන් අට දෙනකු ඉන්දියාවේ කූනෝ ජාතික වනෝද්‍යානයට මුදා හැරීම සිදුවිය. අප්‍රිකානු රාජ්‍යයක් වන නැමීබියාව, චීටා සතුන්ට ප්‍රසිද්ධියක් උසුලයි. වැඩිම චීටා ජනගනයක් ඇත්තේ ද නැමීබියාවේය. ඉදිරියේදී තවත් චීටා සතුන් නැමීබියාවේ සිට ඉන්දියාවට ගෙන ඒමට ඉන්දීය රජය සූදානමින් සිටී. චීටා සතුන් අටදෙනා වනෝද්‍යානයට මුදා හැරීම සිදුවූයේ උන් මාසයක කාලයක් නිරෝධායනය කර තැබීමෙන් පසුවය. සතුන් ගුවනින් ඉන්දියාවට ගෙනැවිත් ඇත්තේ නිර්වින්දනය කිරීමෙන් පසුවය. චීටා යනු මහ බළල් පවුලට අයත් සාමාජිකයකු වන අතර ගොඩබිම වෙසෙන වැඩිම වේගයකින් දිවිය හැකි සත්වයා වන්නේ ද චීටාය. චීටාට පැයට කිලෝමීටර් 113ක වේගයකින් දිවිය හැකිය. අතීතයේ අප්‍රිකා මහද්වීපයේ පමණක් නොව, ඉන්දියාවේ වනාන්තරවලද චීටා සතුන් වාසය කළ බව පැවැසෙයි. ඉන්දියාවෙන් චීටා සතුන් සඳහටම වඳවී ගොස් ඇත්තේ 1952 වසරේ සිටය. මිනිසුන් විසින් චීටා සතුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කිරීම ඊට එක් හේතුවක් බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)