Connect with us

International

බ්‍රිතාන්‍යයේ නව රජු බැල්මොරල් මාලිගයෙන් ලන්ඩනය බලා නික්මෙයි.

Published

on

දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු නව රජු ලෙස නම් කළ ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත පැමිණියා. ලන්ඩන් නුවර වෙත ළඟා වීමෙන් පසු ඔහු බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ එලිසබෙත් ට්‍රස් හමුවීමට නියමිත අතර ඉන්
අනතුරුවයි ඔහු විසින් ජාතිය ඇමතීමට නියමිතව ඇත්තේ. වසර හැත්තෑවක කාලයක් කිරුළ දැරූ බ්‍රිතාන්‍ය මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී ඊයේ අභාවප්‍රාප්ත වූ අතර ඒ වන විට ඇය 96 වන වියෙහි පසු වුණා. 1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය රාජකීය ධුරාවලියට නම් කෙරෙන්නේ ඇයට වයස අවුරුදු 10දීය. ඒ, ඇයගේ පියා වන හයවන ජෝර්ජ් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වීමත් සමඟයි. හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ ඇයට විසි පස්වන වියේදී හිමිවූයේ පියාගේ අභාවයෙන් අනතුරුවයි. එතැන් සිට දශක හතක කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ හෙබවූ ඇය ලොව දීර්ඝතම කාලයක් බලයේ රැඳී සිටි රාජකීයයා බවට පත්වුණා. වයස අවුරුදු 21 දී දකුණු අප්‍රිකාවේ සිදුකළ සංචාරයක් අතරතුර ජනතා සේවය වෙනුවෙන් ජීවිතය කැපකරන බවට ඇය ලබා දුන් පොරොන්දුවක් පිළිබද පසුගියදා පැවති රිදී ජුබිලිය අවස්ථාවේ ඇය කළ සිහිපත් කිරීමක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මේ අතර බකින්හැම් මාලිගය ඉදිරිපිටට රැස්වූ අති විශාල ජනකායක් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් පුෂ්පෝපහාර පළ කරන අකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර දේවස්ථාන ආශ්‍රිතව විවිධ වැඩසටහන් පවත්වනු ලබනවා. එමෙන්ම, බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට සැළසුම් කර තිබූ විවිධ උත්සව සහ ක්‍රීඩා තරගාවලිද අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස්
වාර්තා සදහන් කළේ. එමෙන්ම, රැජිනට ගෞරවය පළ කරමින් ලන්ඩනයේ ස්ථාන කිහිපයකදී ආචාර වෙඩි මුර පළ කිරීම සිදු කෙරුණා. මේ අතර රැජිණට ගෞරව පළකිරීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවද අද රැස්වුණා. එහිදී බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි ලීස් ට්‍රස් එළිසබෙත් මහ රැජිණ හදුන්වා දුන්නේ නූතන බ්‍රිතාන්‍යය ගොඩනැගූ පර්වතය ලෙසිනුයි.