Connect with us

Local News

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

Published

on

හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම්, ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ සහ එහි කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරිගේ අත්සනින් ජනාධිපතිවරයාට යැවූ ලිපියක සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකූලව හිමි වන ආරක්ෂාව පිළිබඳ ව රජයෙන් සහතිකයක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ ආපසු පැමිණීමට නො හැකි වී ඇති බවට සඳහන් පැමිණිල්ලක් ලැබී ඇති බව යි. ඕනෑ ම පුරවැසියෙකුට ආපසු සිය රටට පැමිණීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති කරුණු, කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දක්වමින් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් සිහිපත් කර තිබෙනවා. මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති තර්ජන සම්බන්ධයෙන් නිසි පියවර ගෙන හිටපු ජනාධිපතිවරයෙකුට නිත්‍යානුකූලව හිමි වන ආරක්ෂාව ලබා දී ආපසු දිවයිනට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන්ට ද යළි රටට පැමිණීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ද රජයට නිර්දේශ කරන බව ද මානව හිමිකම් කොමිසම, ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ ඥාතියෙකු වන රැසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග පසුගියදා ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂ හෙට දිවයිනට පැමිණෙන බව යි. එහෙත්, හෙට දිනයේ හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට සැලසුම් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෙකු සඳහන් කළා.