Local News
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි ජනපතිගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව ඇරයුම් කර තිබෙනවා.
ජනාධිපතිතුමා ලිඛිතව කරන ලද එම ආරාධනය පහත පරිදි වේ.
ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම.
අප රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුල නිර්මාණය වු දේශපාලනික හා සමාජයීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. ඒ අනුව, ක්‍රමවත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සැලසුම් සකස්කරමින් පවතින අතර, ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ද ගනිමින් සිටින්නෙමු.
කෙසේවුව ද, අප හමුවේ පවතින අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මේ මොහොතේ පොදු මහජනතාවගේ අභිප්‍රාය වන්නේ ද පාර්ලිමේන්තුව තුල ඔවුන් නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින් සියලුම දෙනා පොදු වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීමට කටයුතු කිරීම වේ. එය රජයේ සහ ඔබතුමන්ලාගේ වගකීමකි.
ඒ අනුව, මෙම ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවරවල් පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට මා අදහස්කරන අතර, ඒ සඳහා ඔබතුමන්ලාගේ පක්ෂ වල එකඟතාවය කඩිනමින් මා වෙත යොමු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති.
