Connect with us

Local News

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සංශෝධන සහිතව ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

Published

on

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 60කින් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 122කුත් විපක්ෂව ඡන්ද 62කුත් ලැබුණා. මෙම යෝජනාව සම්මත වීමත් සමග මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණ ගැනීමේ බලය හිමි වුණා. පිටු 33කින් සමන්විත එම යෝජනාවේ දැක්වෙන්නේ, රාජ්‍ය ණයවලින් සැලකිය යුතු කොටසක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ දේශීය මුදලින් පවතින ණය, මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් සියයට 42ක් වන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් බවයි. රජයේ දේශීය ණයවලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් වාණිජ බැංකු නොවන අංශය විසින් දරන බවත් එහි සඳහන්. ඒ අනුව, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තොගය ණය ප්‍රශස්තකරණය සඳහා සලකා බලන බව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාවේ දැක්වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාවේ දැක්වෙන්නේ, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ රජයට ලබාදී ඇති අත්තිකාරම් භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කෙරෙන බවයි. විශ්‍රාමික අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට හුවමාරු කරනු ඇති බවද එහි සඳහන් වනවා. ඒ අනුව විශ්‍රාමික අරමුදල් සඳහා මෙම ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට දායකත්වය දැක්වීමට දිරිගන්වන අතර, එසේ සහභාගී නොවන විශ්‍රාමික අරමුදල් මත පනවන ආදායම් බදු ප්‍රමාණය ඉහළ නැංවෙනු ඇති බවත් යෝජනාවේ සඳහන් වනවා.