Connect with us

Local News

හංවැල්ලට මිලිමීටර 196.5ක වර්ෂාපතනයක්

Published

on

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ද එහි සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ අතර ගත වූ පැය 18ක් තුළ කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර 196.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටියට මිලිමීටර් 173.5ක්, කළුතර දිස්ත්‍රික්කයේ වොගන් වතුයායට මිලිමීටර 163.5ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල ප්‍රදේශයට මිලිමීටර 162.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.