Connect with us

Local News

ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනප්‍රිය ඕස්ට්‍රේලියානු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සිව් දෙනෙකු ලංකාවට

Published

on

ශ‍්‍රී ලංකා සංචාරක කර්මාන්තය තව දුරටත් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ප‍්‍රවීන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Influencers) සිව් දෙනෙකු ලංකාව වෙත ගෙන ඒමට ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය කටයුතු යොදා ඇත. මෙවැනි වූ සමාජ මාධ්‍ය ක‍්‍රියාකරුවන් හරහා රට රටවල් තුළ සංචාරක වර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම ඉතා සාර්ථක උපාය මාර්ගයක් ලෙස මේ වන විට සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුනාගෙන ඇත. මොවුන්ගේ Instagram සහ TikTok  සමාජ ජාලය තුළ සිටින මිලියනයකට අධික වූ අනුගාමිකයින්ගේ (Followers) අවධානය ශ‍්‍රී ලංකාව වෙත ලබා ගැනීම මෙහි අරමුණයි. ශ‍්‍රී ලංකාව ඉතා මනරම් සංස්කෘතික අංගයන්ගෙන් හෙබි ඉතා මනරම් ස්වභාව සෞන්දර්යකින් යුක්ත වූ සුඛෝපභෝගී අත්දැකීමක් ලබා ගත හැකි ප‍්‍රමුඛ ගමනාන්තයක් ලෙස ඕස්ට්‍රේලියානු සංචාරකයින් තුළ ප‍්‍රවර්ධනය කිරීම මෙහි ලා අරමුණයි.

දෙසැම්බර් 4 වන දින සිට ශ‍්‍රී ලංකාවට ළඟාවන මෙම සමාජ ජාලා බලපෑම්කරුවන් (Influencers) 16 වන දින දක්වා දින 12ක් ශ‍්‍රී ලංකාව තුළ රැදී සිටීමට නියමිතය. මීගමුව, ත‍්‍රිකුණාමලය, දඹුල්ල, හබරණ, සීගිරිය නුවර, නුවර එළිය ඇල්ල, කුඩා ශ්‍රී පාදය, යාල මිරිස්ස ගාල්ල සහ කොළඹ යන සංචාරක කළාප තුළ සංචාරය කිරීමට නිමියතව ඇත. මෙම ස්ථාන වල සංචරණය කරමින් ලබා ගන්නා ඡායාරූප සහ වීඩියෝ පට Instagram සහ TikTok සමාජ ජාලා හරහා ප‍්‍රචාරණය කිරීම තුළින් ඕස්ට්‍රේලියානු සංචාරකයින් මිලියන 1.5 කගේ පමණ අවධානය ශ‍්‍රී ලංකාව වෙත යොමු කරගැනීමට මෙමගින් හැකි වනු ඇත. විලාසිතා ගැන උනන්දුවෙන් පසුවන සංචාරකයින්, ආයුර්වේදය සහ ශාරීරික සුවතාවය කෙරෙහි උනන්දුවක් දක්වන සංචාරකයින්, ස්වභාව සෞන්දර්යයට ආලය කරනු ලබන සංචාරකයින් සහ ත‍්‍රාස්‍ය ජනක ක‍්‍රියාවන්ට රුචිකම් දක්වන සංචාරකයින් යන වඩා පුළුල් කාණ්ඩ වලට අයත් ඔස්ටේ‍්‍රලියානු සංචාරකයින් මොවුන්ගේ සමාජ ජාලා තුළ අනුගාමිකයන් (Followers) ලෙස සිටී. එම නිසා ශ‍්‍රී ලංකාව යනු විවිධාකාර වූ අත්දැකීම් ලබා ගත හැකි ගමනාන්තයක් ලෙස ඔස්ටේ‍්‍රලියානු සංචාරකයින් තුළ ස්ථාන ගත කිරීමට මෙමගින් හැකි වනු ඇත.

Luana Soares Ostling විලාසිතා සහ සුඛෝපභෝගී ගමනාන්තයන් ප‍්‍රවර්ධනය කරන්නියක ලෙස ඕස්ට්‍රේලියාව තුළ ප‍්‍රචලිතය. ඇයගේ Instagram පිටුව තුළ අනුගාමිකයන් මිලියනයකට අධික ප‍්‍රමාණයක් වේ. Simran Gulati යනු ඉන්දියානු සම්භවයක් සහිත ඕස්ට්‍රේලියාවේ, ප‍්‍රවීන නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියකි. ආයුර්වේද සහ ශරීර සුවතා හා බැඳුනු සංචාරක සංකල්පය ප‍්‍රචාරණය කිරීමේ නියැලී සිටින සමාජ ජාලා බලපෑම් කාරිනියකි (Influencer). මීට අමතරව සුඛෝපබෝගී විලාසිතා සහ ගමනාන්තයන් ප‍්‍රවර්ධනය කිරීමේ නියැලී සිටින ඇයගේ Instagram පිටුවෙහි අනුගාමිකයන් (Followers) දෙලක්ෂයකට අධික පිරිසක් ඇත. David Yiu Wai Chin යනු වෘතිමට ජායාරූප ශිල්පියෙකි. ස්වභාව සෞන්දර්ය මනාව පිළිබිඹු වන ලෙස ඡායාරූප ගැනීමේ හපනෙකි. විවිධ රටවල සංචරණය කරමින් ලබා ගන්නා සිත් ඇදගන්නා සුලු ඡායාරූප මගින් එම රටෙහි සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරන්නකු වන, මොහුගේ Instagram ගිණුමෙහි අනුගාමිකයන් (Followers) එක් ලක්ෂ පනස් දහසකට අධික ප‍්‍රමාණයක් වේ. Dylan Mahoney සංචාරක හා ජීවන රටාව ප‍්‍රවර්ධනය කරන්නකු ලෙස Instagram සහ TIKTOK තුළ ප‍්‍රචලිතය. මොහුගේ Instagram සහ TIKTOK සමාජ ජාලා මාධ්‍ය මගින් අනුගාමිකයන් (Followers) හට සජීවී අත්දැකීම් ලබා දීමට කටයුතු කරන අතර, නව ත‍්‍රාස්‍ය ජනක සංචාරක අත්දැකීම් සමාජ ජාලා මාධ්‍ය තුළ ප‍්‍රචාරණය කරමින් තරුණයන් තුළ ත‍්‍රාස්‍ය ජනක සංචාරක අත්දැකීම් ප‍්‍රවර්ධනය කිරීමට ක‍්‍රියා කරයි. මොහුගේ Instagram ගිණුමෙහි හතලිස් එක් දහසකට අධික අනුගාමිකයන් (Followers) පිරිසක් සිටින අතර, TIKTOK පිටුවෙහි අනුගාමිකයන් (Followers) ලක්ෂයකට අධික පිරිසක් සිටී.

මෙම ප‍්‍රවර්ධන කාර්යය සාර්ථක කර ගැනීමට දේශීය ආයතන කිහිපයක්ද මුදල් අය කිරීමකින් තොරව සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය හා අත්වැල් බැදගෙන ඇත. Colombus Tours & Travels, Theva Residency, Sail Lanka (Pvt) Ltd, St. Andrews by Jetwing, Aliya Resort, Riff Hikkaduwa, Blue Orbit by Citrus, සිද්ධාලේප ආයුර්වේදයල Ministry of Crab, නෙළුම් කුළුනට ඇතුලූ වීමල සහ දළඳා මාළිගයට ඇතුලූ වීම මේ අතර වේ.

ආසියාතික රටවල් තුළ පවතින ඕස්ට්‍රේලියානු සංචාරකයින් ආකර්ශණය කර ගැනීමේ තරඟය තුළ තවදුරටත් රැඳී සිටීමට මෙවැනි සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම නිරන්තරයෙන් අවශ්‍ය වනු ඇත. මෙවැනි සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් හරහා සංචාරකයින් මෙරටට ඇද ගැනීම තුළින් මෙරට සංචාරක ව්‍යාපාරයේ සිටින දහසකුත් ව්‍යවසායකයන්ට මහත් ප‍්‍රතිලාභ හිමි වේ. මෙහි ප‍්‍රතිලාභය ගලා යනුයේ සංචාරක ක්ෂේත‍්‍රයේ සිටිනා පුද්ගලයින් සහ ව්‍යාපාර අතරය අතරය. එම නිසා මෙවැනි ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සංචාරක ක්ෂේත‍්‍රයේ සිටිනා සෑම පුද්ගලයකුගේම ආයතනයන්හිම සහාය අපේක්ෂා කෙරේ.

ඉදිරියේ මෙවැනි වූ නව මාදිලියේ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය කටයුතු සූදානම් කර ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *