Local News
ජොන්ස්ටන්ට එරෙහි තිබූ වරෙන්තුව නැවත කැඳවයි
අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පැවසුවේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළා.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනව.
ඉන් අනතුරුව නඩු විභාගය ජනවාරි මස 27 වනදාට කල් තැබුවා.
