Local News
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට බාධාකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයක්
අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයන් නිකුත් කළේය.
තම ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින්, පෞද්ගලික සමාගමක් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලුවේය.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සියලු රාජ්‍ය ආයතන අවශ්‍ය අනුමැතිය ලබාදී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදු කරන බවට චෝදනා කළේය.
ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව සඳහන් කරමින් විවිධ බාධාවන් පමුණුවන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කීපදනෙකු අත්අඩංගුවට පවා ගෙන තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳ පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදී තිබූ බවත් සඳහන් කළේය.
මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ බලයට යටත් වන ප්‍රදේශයක් බවත් එහි කටයුතුවලට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම ව්‍යාපෘතිය සඳහා බාධා කිරීම් හා අනිසි මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර පෙත්සම යළි මේ මස 29 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි ජයරත්න, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් නම්කර තිබේ.