Connect with us

Local News

I.O.C නව පිරවුම්හල් 50 ක් ඇරඹීමට අවසර.

Published

on

තාවකාලිකව නවතා තිබූ ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් කිව්.ආර් කේතය ලබාගැනීමට ලියාපදිංචි කිරීම නැවත ආරම්භවී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මේ අතර ජාතික තොරතුරු තාක්ෂණ ආයතනයේ පද්ධතීන් යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ගතවූ පැය 48 ක කාලය තුළදී ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වූ නව ලියාපදිංචි කිරීම් අත්හිටවනු ලැබුවා. කෙසේ වෙතත් අද පෙරවරුවේ ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති බවයි. එමෙන්ම මෙම සතියට අදාළ ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව අද මධ්‍යම රාත්‍රියෙන් පසු යාවත්කාලීන කෙරෙන බව ද අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර තිබුණා. මේ අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ස්ථාපිත කිරීමට අවසර හිමිවූ බව ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ අනුව නුදුරු දිනයකදීම මෙම පිරවුම්හල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. දැනට දිවයින පුරා අයි.ඕ.සී. සමාගම සතුව ඉන්ධන පිරවුම්හල් 211 ක් පවතිනවා. එමෙන්ම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක ඇමරිකානු ඩොලර් 95 යි ශත 19 ක් දක්වා ශත විසි හතකින් වැඩිවී ඇති අතර, ඩබ්ලිව් ටී අයි බැරලයක මිල ශත විසි අටකින් වැඩිවී ඇත්තේ ඩොලර් 89 යි ශත 25 ක් දක්වායි. මේ අතර ඉන්ධන කෝටාවත් සමඟ වෘත්තිය ත්‍රිරෝද රථ රියදුරන් මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් එම වෘත්තිය සමිති
15 ක් අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ කංචන විජේසේකර හමු වී සාකච්ඡා කර තිබුණා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෘත්තිය ත්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සත්‍ය වූ හඬ සංවිධානයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරා කියා සිටියේ පැවති සාකච්ඡා සාර්ථක බවයි. ඒ අනුව වෘත්තිය මට්ටමේ ත්‍රිරෝද රථ හඳුනාගැනීමෙන් අනතුරුව කිව් ආර් කේතය යටතේ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කරන බවට අමාත්‍යවරුන් ප්‍රකාශ කළ බව ද ඔහු කියා සිටියා.

Continue Reading