Connect with us

Breaking News

2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට.

Published

on

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් 6 වන ආසියානු කුසලානය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මීට පෙර ශ්‍රී ලංකාව 1986, 1997, 2004, 2008 සහ 2014 වසරේදී මෙම කිරුළේ අභිමානය මෙරටට රැගෙන ආවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි වු ප්‍රධාන පෙළේ තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලබාගත්තේ 2014 වසරේදී පැවැති ආසියානු කුසලානයෙන් සහ ඉන් අනතුරුව පැවැති පන්දුවාර 20 ලෝක
කුසලානයෙන් පසුව වීමත් කැපී පෙනනවා. නමුත් එම තරගාවලි සදහා එක්වු කිසිදු ක්‍රීඩකයකු අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවත් පාකිස්ථානයත් ආසියානු කුසලානයක අවසන් මහා තරගයකදී මුණ ගැසුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔහු අවසන් මහා තරගයේදී එකිනෙකා 1986, 2000 සහ 2014 වසරේදී මුණ ගැසුණා. එහිදි 1986දී සහ 2014 වසරේදී ශ්‍රී ලංකාව ආසියානු ශූරයින් බවටත් පත්වෙද්දී 2000දී එම වාඩුව පාකිස්ථානුවන් පිරිමසා ගත්තා. අද ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන්
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා. පළමු කඩුල්ල ලෙසට කිසිදු ලකුණක් නොලබා සිටි ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 23ක්ව තිබියදී පැතුම් නිස්සංක දැවී ගියේ හැරිස් රාවුෆ්ගේ පන්දුවකට නායක බාබර් අසාම් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8ක්. ධනුෂ්ක ගුණතිලක එක් ලකුණක් ලබා සිටියදී හැරිස් රාවුෆ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. ධනංජය ද සිල්වා ලකුණු 28ක් ලබා සිටියදී හතරවන කඩුල්ල ලෙසට පිටියෙන් ඉවත්ව ගියේ පන්දු යැවූ ඉෆ්තිකාර් අහමඩ්ගේ අතටම උඩ පන්දුවක් ලබා දෙමින්. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ පන්දුවාර 7යි පන්දු 4ක් අවසානයේ ලකුණු 53ක් ලෙසටයි. ලකුණු 58ක්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ බලාපොරොත්තුවක්ව තිබූ නායක දසුන් ශානක දැවී ගියා. ඒ ශඩාබ් ඛාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන්. ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 2ක්. අනතුරුව පිටියට එක් වෙමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් වූ වනිඳූ හසරංග ලකුණු 36ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු 21ක් තුල ඔහු මෙම ලකුණු 36 ලබාගත් අතර ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා. 14 වන පන්දුවාරයේ දී ඔහු මෙලෙස දැවී ගියේ හැරිස් රාවුෆ්ගේ පන්දුවක් හමුවේ කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම සටහන් වූයේ 116ක් ලෙසින්. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළ භානුක රාජපක්ෂ තම විස්සයි විස්ස තරග දිවියේ තුන්වන අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 35කින්. ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා. ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ඔහු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 71ක්. චාමික කරුණාරත්න ලකුණු 14යි. පන්දු යැවීමේදී හැරිස් රාවුෆ් කඩුළු 3ක් බිඳහෙළුවා. නසීම් ෂා, ශඩාබ් ඛාන්, සහ ඉෆ්තිකාර් අහමඩ් ශ්‍රී ලංකා ඉනිමේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ආසියානු කුසලාන අවසන් මහා තරගය ජය ගැනීමට පාකිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 171ක්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමුවන සහ දෙවන ස්ථානවල පසුවන පිතිකරුවන් දෙදෙනා පාකිස්ථාන ඉනිම ආරම්භ කළා. ඒ මොහොමඩ් රිස්වාන් සමගින් බාබර් අසාම්. ඩිල්ෂාන් මධුශංක පළමු පන්දු වාරය ආරම්භ කළ අතර පළමු පන්දුවම නිපන්දුවක් ලෙසටයි සටහන් වුයේ. දෙවන පන්දුව වයිඩ් පන්දුවක් ලෙසට විනිසුරු විසින් ප්‍රකාශ කළා. ඔහු යැවූ පන්දු කිහිපයක්ම වයිඩ් පන්දු ලෙසට සටහන් වීමත් සමග කිසිදු පන්දුවක් සටහන් නොවී පාකිස්ථාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගියා.
ඩිල්ෂාන් මධුශංක යොමු කළ වයිඩ් පන්දු සංඛ්‍යාව 4ක්. ඩිල්ෂාන් මධුශංකගේ පන්දුවාරය අවසන් වන විට ලකුණු 171ක් හඹා යන පාකිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 12ක් ලෙසින්. ලකුණු 22ක්ව තිබියදී පාකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසට බාබර් අසාම් දවා ගැනීමට ප්‍රමෝද් මධුෂාන් හැකියාව ලැබුණා.ඔහු යැවූ පන්දුවකින් මධුශංකගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් බාබර් අසාම් පිටියෙන් ඉවත්ව ගියේ ලකුණු 5ක් ලබා සිටියදීයි.දෙවන කඩුල්ල ලෙස කිසිදු ලකුණක් නොලබා සිටි ෆකාර් සමාන් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ප්‍රමෝද් මධුෂාන්ට හැකියාව ලැබුණා. ඔහු යැවූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ෆකර් සමාන් දැවී ගියා. තුන්වන කඩුල්ල ලෙස ප්‍රමෝද් මධුෂාන්ගේ පන්දුවක් හමුවේ අශේන් බණ්ඩාර අතට උඩ පන්දුවක් ලබා දෙමින්
ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් නවාස් ලකුණු 6ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේ චාමික කරුණාරත්නගේ පන්දුවකට ප්‍රමෝද් මදුෂාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. අර්ධ ශතකයක් ලබා ගනිමින් පාකිස්ථාන ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් දැවී ගියේ ලකුණු 55 ලබා සිටියදීයි. ඒ වන විට පාකිස්ථාන පිළිතුරු ඉනිම සටහන් වුයේ ලකුණු 110කට කඩුළු 5ක් වශයෙන්. අනතුරුව පිටියට පිවිසි අසීෆ් අලි මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ කිසිදු ලකුණක් නොලබාමයි. ඒ වනිඳු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. පාකිස්ථාන ඉනිමේ හත්වන කඩුල්ල ලෙස වනිඳු හසරංගගේ පන්දුවකින් දැවී ගියේ ලකුණු දෙකක් ලබා සිටි කුෂ්ඩිල් ෂා. පාකිස්ථාන කණ්ඩායමේ 8 වන කඩුල්ල ලෙදට ශඩාබ් ඛාන් දවා ගැනීමට මහීෂ් තීක්ෂණට හැකියාව ලැබුණා. ඒ වන විට ලකුණු 171ක ඉලක්කයක් හඹා යන පාකිස්ථාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ ලකුණු 120ක්
ලෙසින්. පන්දුවාර 18යි පන්දු 2ක්ව තිබියදී පාකිස්ථාන ඉනිමේ 9 වන කඩුල්ල බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ නසීම් ෂායි. ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 4ක්.
පන්දුවාර 19ක් අවසාන වන විට පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 35ක්. කෙසේ වෙතත් පාකිස්ථානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 147ක් පමණයි. ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ හෙළුවා. තරගයේ වීරයා සම්මානය භානුක රාජපක්ෂ හිමි කරගත් අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් පෑ වනිදු හසරංගයි.