Local News
වන අලින්ට මරු කැඳවූ දුම්රිය අනතුර ගැන රියදුරාගෙන් ප්‍රකාශයක්
කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් අද (18) අලුයම අනතුරක් සිදුව තිබුණි.
ඒ මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දීය.
මෙම අනතුරින් දුම්රියේ ඉන්ධන ටැංකි හතරක් පීළි පැනීමටකට ලක්වූ අතර දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරියද පීළිපැනීමට ලක් විය.
අනතුරින් වනඅලි දෙදෙනෙකු මියගොස් තවත් වන අලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා තිබුණි.
එමෙන්ම ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයටද දැඩි හානි සිදුව තිබේ.
අනතුරට ලක් වූ දුම්රිය මැදිරි 8කින් සමන්විත වූ අතර, එක් ටැංකියක අන්තර්ගත වී ඇති ඉන්ධන ප්‍රමාණය ලීටර් 50,000කි.
ඒ අනුව පෙට්‍රල් අන්තර්ගත ටැංකි 3ක්ද, ඩීසල් ටැංකි මැදිරි 5ක් ද දුම්රියට සම්බන්ධ කර තිබුණි.
අනතුරින් පසු පෙට්‍රල් අන්තර් ගත ටැංකි මැදිරි දෙකක් මුළුමණින්ම පෙරළී ගොස් ඇති අතර අනෙක් මැදිරියද පීළී පැන තිබුණි.
ටැංකිවල අන්තර්ගතවූ පෙට්‍රල් ලීටර් ලක්ෂයක් පමණ විනාශ වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය රියදුරු පැවසුවේ තමන් උපරිම ලෙස තිරිංග ක්‍රියාත්මක කළ නමුත් අනතුර වළක්වා ගැනීමට නොහැකි වූ බවය.
“කොළඹ ඉඳන් මේක එන්න තියන්නේ උදේ 10ට. අපි ගත්තේ ගල්ඔයින්. ගල්ඔයින් ස්ටාට් කලේ පාන්දර 2.54යි. මෙතනට එනකොට මීටර් 10ක් වගේ තියෙද්දි අලි රංචුවක් පාර හරහා ගියා දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට. අපි තිරිංග ක්‍රියාත්මක කළා උපරිම වශයෙන්. ඒත් වැදුණා ඉතිං.”
අනතුර සිදුවන ස්ථානයේ ධාවන වේගය පැයට කිලෝමීටර 20ක් ලෙස සටහන් ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එය ඉක්මවා ගොස් ඇතැයි පැහැදිලි වන බව වනජීවි නිලධාරීන් පවසනවා.
මේ සම්බන්ධව අදහස් දැක්වූ මින්නේරිය වන සත්ව අඩවි ආරක්ෂක චමින්ද කුමාර මහතා,
“කොහොමත් මේ කළාපය අලි වදින කළාපයක්. අපි පසුගිය දිනවලත් ප්‍රධාන කාර්යාලය මැදිහත් වෙලා දුම්රිය රියදුරන් දැනුම්වත් කළා මේ හරියේ අලි නිතරම වදිනවා, කොහොමද මේ අලින් බේරගන්නේ කියලා. නමුත් මාසයක් වගේ යනකොට නැවත ඒවගේ අනතුරක් සිද්ධ වෙලා තියනවා.”
කෙසේ වෙතත් වේග සීමා ඉක්මවා යාම ගැන එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්ත මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
“මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ මණ්ඩලයක් පත් කරලා තියනවා. ඒ පරීක්ෂණ මණ්ඩලයේ තොරතුරු දත්තයන් ඒකරාශි කරගෙන, ඒ ඒ දුම්රිය ස්ථානයන්ට ලබා දී තිබෙන වේග සීමා මොනවාද?, කොට්ඨාසයට දීලා තියන වේග සීමාව කොච්චරද?, මේගොල්ලෝ ගමන් කරලා තියන වේග සීමාව කොච්චරද කියන එක අපිට පරීක්ෂණය අවසානයේ දැනගන්න පුළුවන් වෙයි.”