Local News
පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කරන්නට, ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න – හරිනිගෙන් නවක මන්ත්‍රීවරුන්ට පණිවුඩයක්
පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව, යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
මෙරට 10 වන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍යධුර, නියෝජ්‍ය අමාත්‍යධුර හෝ කුමන තනතුරු ලැබුණද පළමුවත්, අවසන් වරටත් තමන් ඇතුළු සිටළු දෙනා මහජන නියෝජිතයින් බව මතක තබා ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
එහිදී 10 වන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වූ සැමට අග්‍රාමාත්‍යවරිය සුභ පැතුම් එක්කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
“මේ පාර්ලිමේන්තුව ඓතිහාසික සහ සුවිශේෂී පාර්ලිමේන්තුවක්.. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා එහි අර්ථය හරියට අවබෝධ කරගෙන මේ පාර්ලිමේන්තුව අපි බාරගමු කියලා.. මේ පාර්ලිමේන්තුව ඓතිහාසික වෙන්න හේතු ගණනාවක් තිබෙනවා.. වැඩිම කාන්තා නියෝජනය ලෙස මන්ත්‍රීවරියන් 22ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.. ඒ වගේම මන්ත්‍රී ආසන 225න් මන්ත්‍රී ආසන 162ක්ම නවක මන්ත්‍රීවරුන්.. නවක මන්ත්‍රීවරුන් වැඩිවීමට හේතුව අපි අවබෝධ කරගත යුතුයි.. පසුගිය කාලය තුළින්ම පාර්ලිමේන්තුව කියන ඒ උත්තරීතර සභාව ජනතාවගේ අප්‍රසාදයට සහා පිළිකුලට පත් වූ තැනක්.. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප වුණා.. 225ම එපා කියලයි ජනතාව ප්‍රකාශ කළේ.. එවැනි සංවාදයක් තුළයි ජනතාව මෙවැනි පාර්ලිමේන්තුවක් මහ මැතිවරණයෙන්ම නිර්මාණය කළේ.. ඒ නිසා අපි මහජන නියෝජිතයන් කියන එක අමතක නොකළ යුතුයි.. අපිට අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ මොන තනතුරු ලැබුණත් පළමුවත්, අවසන් වරටත් අපි මහජන නියෝජිතයින් බව මතක තබා ගත යුතුයි.. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය නොකරන තැනක් බවට පවතින අප්‍රසාදය වෙනස් කරගත හැකි වන්නේ අපි සියලු දෙනාම ජනතාවගේ බලාපොරොත්තු සිහි තබාගෙන ආරක්ෂා කළොත් පමණයි.. අපේ රටේ ජනතාව දේශපාලනිකව පරිණත පිරිසක් බව පසුගිය කාලයේ පැවැති දේශපාලනික පරිවර්තනවලින් පැහැදිලි වෙනවා.. ජනතාව ලබාදුන් පණිවිඩය අපි කොයි තරම් දුරට අවබෝධ කරගත්තාද යන කාරණය මතයි මේ පාර්ලිමේන්තුව නිර්මාණය වෙලා තිබෙන්නේ.. ජනතාවගේ පණිවිඩය පිළිනොගත්ත අය මෙවර මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.. එහෙම නම් ජනතාව අපි කෙරෙහි තබා ඇති බලාපොරොත්තුව, ජනතාව අපේක්ෂා කරන දේශපාලන භාවිතාව රට තුළ නිර්මාණය කිරීමටත්, ජනතාව අපි කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමටත් 225 ටම විශාල වගකීමක් තිබෙනවා.. ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් කැප වෙමු.. ඒ සඳහා මේ වැඩමුළුව ඉතා වැදගත්.. සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව මේ නව්‍යකරණය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට මේ වැඩමුළුව ඉතා ප්‍රයෝජනවත්..”
කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලී වීරසේකර, සභා නායක අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින් නලින්ද ජයතිස්ස ඇතුළු නවක මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.
තවත් පුවත්