Local News
නීති විරෝධි E-8 වීසා අර්බුදය පිටුපස හිටපු ඇමති මනූෂ
පසුගිය රජයේ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිවිරෝධි අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම හේතුවෙන් වසර 20කට අධික කාලයක් පුරා විශාල ශ්‍රී ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කාණ්ඩයේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති වී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසනවා.
නීතිවිරෝධි වීසා බලපත්‍ර නීත්‍යානුකූල කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
පසුගිය සමයේ තමන් විසින් හෙළිකල ගුවන් ටිකට්පත් වංචාවට සම්බන්ධ වූ පිරිස් තමන් විසින් ආරම්භ කර ඇති වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි අරගල සිදුකරන බවටද සභාපතිවරයා චෝදනා කළා.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කැබිනට් අනුමැතිය ලබාගන්නත් පෙර, රජයේ කිසිඳු අනුමැතියකින් තොරව E-8 වීසා සම්බන්ධයෙන් පෞද්ගලිකව ගිවිසුමක් අත්සන් කර ඇති බවටයි ඒ මහතා චෝදනා කර සිටියේ.
දකුණු කොරියානු E-8 වීසා කාණ්ඩයේ සෘතුමය රැකියා සඳහා පුද්ගලික පාර්ශවයන්ට මුදල් ලබාදුන් පිරිස් බත්තරමුල්ල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.
“ E-8 දිනාගැනීමේ අරගලයක් කියලා ඇතැම් පුද්ගලයින් හුවා දක්වනවා.. නමුත් ඇත්තමට E-8 දිනාගන්න බෑ.. මම අවස්ථා කිහිපයකදීම සඳහන් කළා E-8 කියන්නේ නිසි ක්‍රමවේදයෙන් පුද්ගලයින් විදේශ රැකියාවට යවන්න අනුගමනය කරපු ක්‍රමයක් නෙවෙයි.. කිසිම විදිහකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පුද්ගලික විදේශ රැකියා නියෝජිතායතනයකට දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන්න අවසරය දීලා නෑ.. කාර්යාංශ පනත අනුව ශ්‍රමිකයෙක් විදේශ රැකියාවකට යනවා නම් අනිවාර්යෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගත යුතුයි.. කාර්යාංශය විසින් E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබාදෙන්න කැබිනට් අනුමැතිය ගන්න යෝජනාවලියක කෙටුම්පතක් මැයි මාසේ 14 දින සකස් කරලා තියෙනවා.. හිටපු අමාත්‍යවරයෙක් කැබිනට් අනුමැතිය ලබාගන්නත් පෙර, රජයේ කිසිඳු අනුමැතියකින් තොරව පෞද්ගලිකව ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා.. මේක ඇත්තමට බැලුවොත් මිනිස් වෙළදාම් ගණයට ඇතුළත් වෙන වරදක්.. මේ සම්බන්ධයෙන් අපි දැඩි ක්‍රියාමාර්ග අරගන්නවා.. නිකුත් වුණ වීසා නිත්‍යානුකූල නොවන බව අපි නැවතත් කියනවා.. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ අවබෝධතා ගිවිසුම පිළිගන්නේ නෑ.. ඒ නිසා අමාත්‍යාංශය සහතික කරන්නේ නෑ.. කැබිනට් පත්‍රිකාවක් අපිට ආපස්සට දාන්න බෑ.. වංචනිකව අත්සන් කරපු ගිවිසුමක් බලගන්වන්න අපිට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බෑ.. අපි යළි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ මේ ක්‍රියාවලිය අලුතින්ම ආරම්භ කළාට පස්සේ විතරයි.. වසර 20ක විතර කාලයක් තිස්සේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපි E-9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියාවලට යොමුකරනවා.. ඒ යටතේ වසරකට 6000ක පමණ රැකියා අවස්ථා අපිට ලැබෙනවා.. මේ වන විට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 30000ක් විතර ඒ රටේ ඉන්නවා.. ලෝකයේ රටවල් රැසකින් ශ්‍රමිකයින් දකුණු කොරියාවට ගත්තට ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ඒ රටේ විශාල පැහැදීමක් තියෙනවා.. මේ E-8 වීසා ගැටළුව හේතුවෙන් E-9 වීසා කාණ්ඩය යටතේ හිමිවන රැකියාවලටත් ගැටළුවත් ඇතිවීමේ අවදානමක් තියෙනවා..”
මේ අතර දකුණු කොරියාවේ කෙටිකාලීන රැකියා අවස්ථා හිමිවුණු, එහෙත් කොරියාවට යාමට අවස්ථාව නොලැබුණු බව පවසමින් පුද්ගලයින් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අද තෙවන දිනටත් විරෝධතාවේ නිරත වනවා.
‘සත්යග්රහ ව්‍යාපාරය ඊ – 8 වීසා එකමුතුව’ නමින් 107 දෙනෙකුගෙන් යුතු පිරිසක් එලෙස විරෝධතාවේ නිරත වන අතර ඔවුන් චෝදනා කරන්නේ එම පිරිසට දකුණු කොරියාවට යාමට නොහැකි වී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොදීම හේතුවෙන් බවයි.