Local News
ගංවතුර ආපදා සහන කටයුතු නිරීක්‍ෂණය කරන්න ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අම්පාරට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ අම්පාර දිස්ත්‍රික්කයේ, ගංවතුර නිසා ඇති වී ඇති වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීමේ සහ ඊට අදාළව දැනට ක්‍රියාත්මක සහන මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර අම්පාර ප්‍රදේශයේ සංචාරයක නිරත වුනා.
ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කැඳවා තිබුණා.
එහිදී රැස්ව සිටි නිලධාරීන් විසින් වත්මන් තත්ත්වය සමාලෝචනය කළ අතර, විපතට පත් පවුල් සඳහා ආපදා සහන සැලසීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායන් සහ ඇති විය හැකි අවදානම් අවම කිරීමට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා.
මෙම සාකච්ඡාව අතරතුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් දැනට නිශ්චය කර ඇති පරිදි ආපදාවට ලක් වී ඇති ප්‍රදේශ, ජීවිත හා දේපළ හානි පිළිබඳ මෙන්ම දිස්ත්‍රික්කය තුල සහන සේවා ක්‍රියාත්මක කිරීමේදී ඇති වී තිබෙන අභියෝග ඇතුළු විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනුවත් කරනු ලැබුවා.