Local News
ආරුගම්බේ ආරක්ෂාව වැඩි කරයි
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඊශ්‍රායල ජාතිකයින් වැඩි වශයෙන් එම ප්‍රදේශවල සංචාරය කරන බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් යම් අනතුරක් සිදුවනු ඇති බවට තොරතුරු ලැබී තිබු බවයි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
කුමන රටක හෝ කුමන ජාතියක හෝ වේවා ඔවුන්ට ආරක්ෂාව සැපයීම සිය වගකීමක් වන බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව මේ වනවිටත් ආරුගම්බේ ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත්, පසුගිය කාලවකවානුව තුළත් මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීම්, පුද්ගල පරීක්ෂා කිරීම් වැනි කටයුතු සිදුකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ, පොලීසියේ සහ බුද්ධි අංශ නිළධාරීන් එම සංචාරක කලාපයේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති බවයි නිහාල් තල්දූව මහතා අවධාරණය කළේ.
එමෙන්ම අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද පොලීසිය අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත්, වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් සිදුවන බවට බුද්ධි තොරතුරක් ලැබී නොමැති බවත් ඔහු කියා සිටියා.
ඒ හෙතුවෙන් අනිසි බියක් ඇනිකර නොගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා,
“ආරුගම්බේ ප්‍රදේශයේ තියනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපිත කරන ලද ගොඩනැගිල්ලක්.. බොහෝ විට මේ ආරුගම්බේ ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයින්ගේ ආකර්ශනීය ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා.. මුහුදු රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවත් එක්ක බොහෝ විට පොතුවිල් සහ ආරුගම්බේ කියන ප්‍රදේශවලට විශේෂයෙන්ම ඊශ්‍රායල ජාතිකයින් වැඩි කැමැත්තක් දක්වනවා.. ඒ නිසායි ඔවුන් යම් කිසි වෙන්වූ ස්ථානයක් එම ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කරගෙන තියෙන්නේ.. ඊශ්‍රායල ජාතිකයින් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ නිසා ඔවුන් ඉලක්ක කරගනිමින් එම ප්‍රදේශයේ අනතුරක් සිදුවීමට ඉඩ ඇති බවට යම් යම් තොරතුරු පසුගිය දිනවල ලැබී තිබුණා.. මේ නිසා මීට අවශ්‍ය මූලික පියවර අපි ක්‍රියාත්මක කරලා තිබුණා.. මාර්ග බාධක යොදලා, වාහන පරීක්ෂා කිරීම් සිදුකරනු ලැබුවා.. අද දිනයේත් විශේෂ ආරක්ෂාවක් එම ප්‍රදේශයට යොමුකරලා තියනවා.. ත්‍රිවිධ හමුදාව බුද්ධි අංශය ඇතුළු සියළු නිළධාරින් යොදවලා ඒ සඳහා අවශ්‍ය සියළු ආරක්ෂාව සපයලා තිබෙනවා.. යම් තොරතුරක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව අපි ක්‍රියාමාර්ග ගන්නවා..”