Connect with us

Local News

අදත් පළාත් කිහිපයකට තද වැසි

Published

on

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද (15) දවසේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

මේ අතර තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් ඊයේ (14) පස්වරු 01.00ට පමණ ඇම්බර් වර්ණයෙන් යුක්තව නිකුත් කළ අවවාදාත්මක නිවේදනය අද (15) පස්වරු 01.00 දක්වා බලාත්මක වනු ඇති.

ඊයේ (14) දින ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබු බවත්, එය ඉදිරි දින 2 තුළ හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්වීමට ඉඩ ඇති බවත් එම කාලගුණයේ දක්වා තිබුණා.

එය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කරන බවද එහි සඳහන්.

උතුරු අක්ෂාංශ 06ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 60-70) සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

ඒ අනුව පහත සිතියමේ ‘Warning’ කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත්තේ.

මේ අතර ඉදිරි කාලගුණය සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.