Local News
අදත් තැන තැන තද වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (නොවැම්බර් 22) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර හෙට දින (නොවැම්බර් 23) පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින 2 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.