Connect with us

Local News

නෙළුම් කුළුණේ දිනක ආදායම මිලියනය ඉක්මවයි.

Published

on

කොළඹ නෙළුම් කුළුණ අද ජනතාවට විවෘත කිරීමෙන් පසු මේ දක්වා රුපියල් 500 ප්‍රවේශපත්‍ර 2000කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබෙනවා. එහි ආදායම රුපියල් මිලියනය ඉක්මවන බවටයි වාර්තා වන්නේ. කොළඹ නගරය මැද අහසට පමණක් දෙවැනි වුණු නෙළුම් කුළුණේ පෙති අතර සිට, කිසිදා නොලද අත්දැකීම් සමුදායක් විඳින්නට අද සිට දෙස් විදෙස් ජනතාවට අවස්ථාව උදාවුණා. ඒ කොළඹ නෙළුම් කුළුණ අද සිට නිල වශයෙන් ජනතාවට විවෘත කිරීමත් සමඟයි. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙලුම් කුළුණේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 113ක්. අඩි 1150ක් ඉහළ අහසට එසවුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු අද සිට නිල වශයෙන් ආරම්භ වුණා. ඊට සමගාමීව එහි නිල වෙබ් අවඩිය ජනගත කිරීම ද අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. නෙළුම් කුළුණ ජනතාව සඳහා නිල වශයෙන් විවෘත කෙරුණේ අද පස්වරු 2ටයි. ශ්‍රී ලාංකික ජනතාවට පළමු වරට හිමිවුණු ඒ අපූරු අත්දැකීම විඳගන්නට විශාල පිරිසක් පැමිණ සිටියා. රුපියල් 500ක හෝ 2000ක වටිනාකමකින් යුත් ටිකට් පතක් මිලදී ගෙන ජනතාවට නෙළුම් කුළුණ නැරඹීමට අවස්ථාව හිමි වනවා. කෙසේ වෙතත් මේ වන විට නෙළුම් කුළුණ නැරඹීම සඳහා නිකුත් කෙරෙන්නේ රුපියල් 500ක ප්‍රවේශ පත්‍රයක් පමණයි. අදාළ ටිකට්පත් නෙළුම් කුළුණ පිවිසුමෙන් මිලදී ගත හැකි අතර විදේශිකයන් අමෙරිකානු ඩොලර් 20ක ටිකට් පතක් මිලදී ගත යුතුයි. පාසල් ළමුන්ටද කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන කණ්ඩායම් වශයෙන් නෙළුම් කුළුණ නැරඹීමේ අවස්ථාව හිමිවන අතර වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ටිකට්පත රුපියල් 200ක්. සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වාත් සති අන්තයේ මධ්‍යහ්න 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නෙළුම් කුළුණ ජනතාවට විවෘතයි. කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 113ක ආයෝජනයක් වන අතර ඉන් ඩොලර් මිලියන 68ක් චීන එක්සිම් බැංකුවෙන් ණය ආධාර ලෙස ලබාගෙන තිබෙනවා. සුදු අලියෙකු බවට කලක් තිස්සේ චෝදනා එල්ල වූ නෙළුම් කුළුණ සඳහා ලබාගත් ණය පියවීම සඳහා මෙම ප්‍රවේශපත් ආදායම ප්‍රමාණවත් නොවන බව නොරහසක්.