Local News
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල පත් කරයි
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කළේය.
ඒ අනුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණි.
අශෝක රංවල මහතා 2024 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබීය.
ඔහු ලබාගත් මනාප 109,332කි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගෙන ඇති ඔහු රසායනික ඉංජිනේරුවරයෙකි.
රංවල මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කර ඇත.
මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි මහතා පත්කෙරුණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ මහතාගේ නම යෝජනා කළ අතර, එය කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ස්ථීර කළාය.
මොහොමඩ් රිස්වි සාලි මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු මෙවර මහ මැතිවරණයේ දී මනාප 73,018ක් හිමිකර ගනිමින් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තු වරම් හිමිකරගත්තේය.
නියෝජ්‍ය කාරකසභා සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර මහත්මිය පත්වුණි.
එය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ස්ථීර කළාය.
හේමාලි වීරසේකර මහත්මිය මෙවර මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 66,737ක් හිමිකර ගනිමින් පාර්ලිමේන්තු වරම් ලැබීය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ සභානායක තනතුර අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ධුරයට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කළේය.
විරුද්ධ පක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව කථානායකවරයා විසින් පිළිගනු ලැබීය.
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය චාම් උත්සවයකින් අනතුරුව අද (21) උදෑසන 10ට ආරම්භ වුණි.
අවසානයේ පාර්ලිමේන්තු කටයුතු කථානායකවරයා විසින් තාවකාලිකව අත්හිටුවූ අතර, නැවත පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එහි සජීව විකාශය ඉහතින්.