Connect with us

Local News

නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කෙරේ.

Published

on

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට කඩිනමින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ පනත් කෙටුම්පත ඒ සඳහා ඉක්මණින් සූදානම් කරන ලෙසටයි. දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒම සඳහා සකස් කර ඇති නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පතට අන්තර්ගතවිය යුතු කරුණු, එහි සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මේ වන විට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන විය යුතු බැවින් එම කරුණු හා දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් පුරවැසි අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ආකාරයට ජාතික ආරක්ෂක පනත සකස් කිරීමට රජය විසින් පියවර ගෙන තිබෙනවා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ඩී.ඩී.කුලසේන යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වී ඇත. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගෙන් සම සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.