Connect with us

Local News

ට්‍රම්ප් “ධෛර්ය සම්පන්න මිනිසෙක්” පුටීන්ගෙන් සුබ පැතුම්

Published

on

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් එක්කර ඇති අතර ට්‍රම්ප් “ධෛර්ය සම්පන්න මිනිසෙකු” ලෙස හඳුන්වා තිබෙනවා.

ඒ රුසියාවේ සෝචි නගරයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ධවල මන්දිරයේ සිය පළමු ධූර කාලය තුළ ට්‍රම්ප් සාර්ථකව කටයුතු කළ බවයි එහිදී රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට තමාට උදව් කළ හැකි බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයට දැන් අවධානය යොමු කළ යුතු බව ද ජනපති පුටින් සඳහන් කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර, ඔහුට “දිනකින්” යුක්‍රේන යුද්ධය අවසන් කළ හැකි බව නැවත නැවතත් ප්‍රකාශ කළ නමුත් එය සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳව කිසි විටෙකත් විස්තාරණය කර දැක්වූයේ නැහැ.

පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරමින් පැය කිහිපයක් පැවති පුටින්ගේ දේශනය අතරතුර, ඔහු පසුගිය ජූලි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන උත්සාහය ගැන ද සිහිපත් කිරීම විශේෂත්වයක්.

වෙඩි තැබීමෙන් පසු, ට්‍රම්ප්, රහස් සේවා නියෝජිතයන් විසින් ඔහුව ඉවතට ගෙන යාමට පෙර, “සටන් කරන්න, සටන් කරන්න, සටන් කරන්න” යනුවෙන් ප්‍රකාශ කිරීම, ජනපති පුටින්ගේ මතය අනුව, ඉතා නිවැරදි ආකාරයෙන්, නිර්භීතව, පිරිමියෙකු මෙන් හැසිරීමක් බවයි පුටින් පවසා ඇත්තේ.

ජනපති පුටින්, අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් එහිදී පවසා තිබෙනවා.

මැතිවරණ ජයග්‍රහනයෙන් පසු අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළේ, ජනපති පුටින් සමග සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවයි.

මේ අතර හිලරි ක්ලින්ටන්ට එරෙහි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා 2016 ජනාධිපතිවරණයට මැදිහත් වූ බවට ක්‍රෙම්ලිනයට චෝදනා එල්ල වූ අතර එය පදනම් විරහිත වූවක් බවයි මොස්කව් බලධාරීන් පැවසුවේ.

එක්සත් ජනපද විශේෂ නීතීඥ රොබට් මුලර් 2016 දී ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය සහ රුසියාව අතර හවුල්කාරිත්වය පිළිබඳ චෝදනා විමර්ශනය කළ නමුත් වසර තුනකට පසුව නිකුත් කළ වාර්තාවක සඳහන් කළේ කුමන්ත්‍රණයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි.

Continue Reading