Connect with us

Local News

අද කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 4.7 ඉක්මවූ පිරිවැටුමක්

Published

on

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (24) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 116.05 කින් හා S&P SL20 දර්ශකය ඒකක 56.90 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශග අගය ඒකක 12,473.50 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,720.30 ක් ලෙසත් සටහන්ව තිබුණි.

මෙය 2024 මැයි 13 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වේ.

මේ අතර අද දින රු. බිලියන 4.79 ක සාපේක්ෂව දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

එහිදී ප්‍රධාන වශයෙන් දේශීය ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවති අතර දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.63 ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 4.59 ක් ලෙසත් වාර්තා වී තිබුණි.

ඒ අනුව විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය අද දින ඉතා පහළ මට්ටමක පැවති අතර රු. මිලියන 159 ක විදේශීය මිල දී ගැනීම්, රු. මිලියන 199 ක විදේශීය විකිණුම් දිනය තුළ වාර්තා විය.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට අද දිනයේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ලංකා දුම්කොළ සමාගම සහ හේලීස් යන සමාගම්වලින් ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.