Magazine
වසර 20කට පසු යළි තිරයට නැඟෙන ”වීර් සාරා”
ඉන්දීය සිනමාවට ළෙංගතු ඔබ, ”වීර් සාරා” (Veer Zaara) බලලා තියෙනවද කියලා අහන එකත්, තේරුමක් ඇති ප්‍රශ්නයක් නොවන බව විශ්වාසයි.
මොකද, වීර් සාරා කියන්නෙ ඒ තරමට ලොවක් වසඟ කරමින් ප්‍රේමණීය හදවත් ස්පර්ශ කළ අපූරු සිනමා අත්දැකීමක් වන නිසාවෙන්.
වීර් සාරා නොබලපු ඉන්දීය සිනමා රසවතුන් නැති තරම්.
එයාකාර ආකර්ෂණයක් දිනූ චිත්‍රපටය, යළි තිරගත කිරීමට සූදානම්ව පසුවන බව වාර්තා වනවා.
ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව, ජාත්‍යන්තර සිනමා ශාලා 600 කදී වීර් සාරා නැවත ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඒ, නොවැම්බර් 7 වැනිදා.
ආදිත්‍ය චොප්රා විසින් තිර රචනය කරන ලද යෂ් චොප්රාගේ අධ්‍යක්ෂණයක් සහ නිෂ්පාදනයක් වන වීර් සාරා ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ රාණි මුකර්ජිගේ රංගනයෙන් හැඩවුණු අපූරු සිනමා සිත්තමක්.
හරියට ම කිව්වොත් කාලය කෙතරම් ඉගිළ ගියත්, සෑම කාලයකදීම සිනමා රසවතුන්ගේ ආදරය දිනූ සිනමාපටයකි වීර් සාරා.
ඒ වගේම චිත්‍රපටය ඉන්දීය සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම ආදර කතාව රැගත් චිත්‍රපටය ලෙසත් සැලකෙනවා.
චිත්‍රපටය මුලින්ම තිරගත වෙන්නෙ 2004 නොවැම්බර් 12 වැනිදා දිවාලි උත්සවය අතරතුර. ඒ කියන්නෙ, මේ එහි 20 වන සංවත්සරය.
එවකට එය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා වසරේ වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටය බවට පත්වුණේ නිරායාසයෙන්මයි.
ඒ අනුව මෙවර චිත්‍රපටය උතුරු අමෙරිකාව, මැදපෙරදිග, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව යන රටවලදී යළි තිරගත වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නෙ.
එහි තවත් විශේෂත්වයක් නම්, දැනටමත් නිකුත් කර ඇති ඉන්දියානු චිත්‍රපටයක් ජාත්‍යන්තරව මෙතරම් පුළුල් ලෙස නැවත ප්‍රදර්ශනයක් සඳහා තෝරා ගත් පළමු අවස්ථාව මෙය වීම.
කොහොම නමුත් පළමු ප්‍රදර්ශනයෙන් පසුව විවිධ අවස්ථාවන්හි වීර් සාරා ලොවපුරා ප්‍රදර්ශනය කර ඇති බවත් සඳහන් කළ යුතුයි.