Sports
India vs Sri Lanka තරග 3කින් සමන්විත පළමු දිවා රාත්‍රි තරගය ලකුණු සමවීමෙන් ජය පරාජයෙන් තොරව නිමා විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සටන්කාමීත්වය හේතුවෙන් ඉන්දියාව සමඟ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු දිවා රාත්‍රි තරගය ලකුණු සමවීමෙන් ජය පරාජයෙන් තොරව නිමා විය.
දෙපිල අතර පිට පිට ලකුණු සමවූ දෙවැනි තරගය මෙය වන අතර, පල්ලෙකැලේ පැවති විස්සයි20 තරගාවලියේ අවසන් තරගයේ ද ලකුණු සම විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දීය පිලට ද ඕවර 47.5කදී සියල්ලන් දැවී රැස් කර හැකි වූයේ ලකුණු 230ක් පමණි.
ජාත්‍යන්තර එක්දින තරග බිමේ ශ්‍රී ලංකා – ඉන්දියා තරගයක ලකුණු සමවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2012 වසරේ පෙබරවාරි 14 වැනිදා ඇඩිලේඩ්හිදී පැවති තරගයේ ලකුණු සමවීමෙන් නිමා වී තිබේ. ජාත්‍යන්තර එක්දින තරග බිමේ ලකුණු සමවීමෙන් නිමාවූ 44 වැනි තරගය සහ ආර්. ප්‍රේමදාස පිටියේ ලකුණු සමවීමෙන් නිමා වූ පළමු තරගය ලෙස මේ තරගය ඉතිහාසයට එක් විය.
ඉන්දීය පිළිතුරු ඉනිමේදී පළමු කඩුල්ලට ලකුණු 75ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් දීමට නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් සමත් වුවද එම සබඳතාව බිඳ දමමින් දෙදෙනාම ලකුණ 5ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය. ගිල් ලකුණු 16කට දැවී ගිය අතර, ශර්මා ලකුණු 58ක් රැස් කළේය. කෙසේ වෙතත් වොෂිංටන් සුන්දර් (5) සුපිරි පිතිකරු විරාට් කෝලි (23), ශ්‍රේයාස් අයියර් (23) ඉක්මනින් දවා ගනිමින් තරගය දෙපිලටම විවෘත කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් 6 වැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනඟමින් තරගය යළි ඉන්දියාව දෙසට හරවා ගැනීමට ලෝකේෂ් රාහුල් සහ අක්සර් පටෙල් සමත් වූහ. රාහුල් ලකුණු 31කට දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර, ඉන් ලකුණු 8කට පසු පටෙල් (33) දැවී ගියේය. ඉනිමේ අවසන් පන්දු 15දී ඉන්දියාව ජයග්‍රහණයට එක් ලකුණක් පසුපසින් සිටියේ කඩුලු 2ක් ද ඇතැතිවය. එහෙත් නායක චරිත් අසලංක පිට පිට කඩුලු 2ක් බිඳ දමමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගත්තේය. පන්දු යැවීමේදී අසලංක සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් ද දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් ද දවා ගත්හ.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ සුපුරුදු මුල් පෙළ බිඳ වැටීම ආරම්භ වූයේ මුළු ලකුණු 7දීය. අවිශ්ක ප්‍රනාන්දු එක් ලකුණකට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් (14), සදීර සමරවික්‍රම (8) සහ නායක චරිත් අසලංක (14) ළඟ ළඟ දැවී යද්දී එක් අන්තයක් රැකගත් පැතුම් නිශ්ශංක 13 වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 56ක් රැස් කළේය. මුළු ලකුණු 101දී ඔහු 5 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව ඉනිම ලකුණු 230 සීමාවට රැගෙන ගියේය. ජනිත් ලියනගේ (20) සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 41ක්, 7 වැනි කඩුල්ලට වනිඳු හසරංග (24) සමඟ ලකුණු 36ක් සහ අකිල ධනංජය (17) සමඟ 8 වැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කිරීමට වෙල්ලාලගේට හැකි විය. ඉනිම නිමා වන විට නොදැවී සිටි ඔහු පන්දු 65කින් ලකුණු 67ක් රැස් කර තිබුණේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි. පන්දු යැවීමේදී අක්සර් පටෙල් සහ අර්ෂදීප් සිං කඩුලු 2 බැගින් දවා ගත්හ.
මේ තරගයේදී වේග පන්දු යවන මොහොමඩ් ශිරාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග වරම් හිමි කර ගත්තේය.
දෙපිල අතර දෙවැනි එක්දින තරගය හෙට (4) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.
උපුටා ගැනීම – (SIX Cricket)