Sports
Galle Gladiators කණ්ඩායමට ලකුණු 12ක ජයක්.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kandy Falcons කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් 12ක ජයක් වාර්තා කිරීමට Galle Gladiators කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජය හමුවේ Kandy Falcons කණ්ඩායම මේ දක්වා තරගාවලිය තුළ රඳවාගෙන සිටි අපරාජිත බව බිඳවැටිණ. ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141ක් පමණි. තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි අශේන් බණ්ඩාර පන්දු 30කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 41ක් ලබාගත්තද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ලකුණු 70කට කඩුළු 6ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී හත්වැනි කඩුල්ල වෙනුවෙන් චාමික කරුණාරත්න සමග පන්දු 24කදී ලකුණු 55ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද බණ්ඩාර සමත් වූ නමුත් මහනුවර කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. චාමික කරුණාරත්න පන්දු 15කදී හතරේ පහර 5ක් සමග වේගවත් ලකුණු 32ක් රැස් කළා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 153ක් ලබාගත්තේය. ගාල්ල ඉනිම ආරම්භ කරමින් අවසන් පන්දුව දක්වම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු තනුක දාබරේ පන්දු 51කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 70ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. මුළු ලකුණු සංඛ්‍යාව 10ක් වන විට ගාල්ල පිතිකරුවන් සිවුදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මහනුවර පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කාර්ලෝස් බ්‍රැත්වේට් ඉන් කඩුලු 3 කටම හිමිකම් කීවේ ප්‍රතිවාදීන්ට ලකුණු 17ක් පමණක් ලබාදෙමිනි. ඔහුගේ පන්දුවාර 4ට නිලකුණු පන්දුවාරයක්ද ඇතුළත් විය. එතැන් පටන් නුවනිඳු ප්‍රනාන්දු (56) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87කදී ලකුණු 113ක සම්බන්ධතාවක් ගොඩනැගූ දාබරේ බිඳවැටී තිබූ ගාල්ල ඉනිමට නව ජවයක් එක් කළේය. ඉසුරු උදාන යැවූ ගාල්ල ඉනිමේ 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට පන්දු 50කට මුහුණදී සිටි නුවනිඳුගේ අර්ධ ශතකයට හතරේ පහර 5ක් අන්තර්ගත වී තිබිණ.