Connect with us

Sports

සුපිරි හතරදෙනාගේ වටයේ බංග්ලාදේශය සමග තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 21ක සුපිරි ජයක්.

Published

on

බංග්ලාදේශය සමග අද පැවති සුපිරි හතරදෙනාගේ වටයේ දෙවන තරගයෙන් ලකුණූ 21ක සුපිරි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණ තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 257ක් රැස් කළා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම පන්දු 72කදී වේගවත් ලකුණු 93ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 40ක් රැස් කළා. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud හා Taskin Ahmed කඩුළු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 236ක් පමණයි. Towhid Hridoy ලකුණු 82ක් රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ සුපිරි පන්දු යැවීම්වල නිරත වෙමින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුණා. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ පන්දු 72කදී වේගවත් ලකුණු 93ක් රැස් කළ සධීර සමරවික්‍රමයි. අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමේ ලෝක වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාව වන අතර අද තරගය ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයගත් ලොව දෙවන කණ්ඩායම බවට පත්වුණා. මේ අතර ඔවුන් අද තරගයේදී අඛණ්ඩව 13 වන වතාවත් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුළු සියල්ල දවාගැනීම විශේෂත්වයක්.