Connect with us

Sports

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන අවසන් මහා තරගයට.

Published

on

බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්විය. ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී එක් ලකුණක අති තියුණු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ 2004 වසරේ සිට 2008 වසර දක්වා පිට පිටම සිවුවරක් අනුශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ වසර 14ට පසුවය. ශිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (15 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. මින්
පෙර අනුශූරතා දිනාගත් අවස්ථා හතරේදීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය වී ඇත්තේද ඉන්දියාව හමුවේය.
අවසන් පූර්ව වටයේ ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121ක් පමණි. තරගය ජයගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අවසන් පන්දුවේදී ලකුණු 3ක් අවශ්‍ය වූ අතර එහිදී දෙවැනි ලකුණු කරා දිව යමින් සිටි නිඩා ඩාර් දුවද්දී දවාගැනීමකට හසුකර ගත් කවීෂා දිල්හාරි සහ කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 100ක් ලබා සිටි පාකිස්තාන කාන්තා කණ්ඩායමට අවසන් පන්දුවාර 4 තුළදී ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය වූයේ තවත් ලකුණු 23ක් පමණි. එහෙත් 17 වැනි පන්දුවාරය ලකුණු 5කට සීමා කළ ඉනෝකා රණවීර, ඉන් නොනැවතී 19 වැනි පන්දුවාරයේදී කඩුල්ලක්ද දවාගනිමින් එම පන්දුවාරය 4කට සීමා කළේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුව බවට පත් වෙමිනි. කඩුල්ලක් දවාගනිමින් 18 වැනි පන්දුවාරය ලකුණු 5කට යැවූ සුගන්දිකා කුමාරි සහ අවසන් ඕවරය
ලකුණු 7කට යැවූ අචිනි කෞෂල්‍යාද, පාකිස්තාන කාන්තා කණ්ඩායම හමුවේ පෙනි පෙනී තිබූ ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙත උදුරා ගැනීම සඳහා ඉනෝකාට අනගි සහායක් ලබා දුන්හ. මෙවර තරගාවලියේ තරග 7කදී කඩුලු 12ක් දවාගෙන සිටින ඉනෝකා, වැඩිම කඩුළුලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ.
පාකිස්තාන කාන්තා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා බිස්මා මරූෆ් පන්දු 41කදී හතරේ පහර 4ක් සමග ලකුණු 42ක් රැස්කළද, සුගන්දිකා කුමාරිගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය. පන්දු 10කදී හතරේ පහර 3ක් සමග ලකුණු 18ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් මුනීබා අලී දුවද්දී දැවී යෑමකට හසුවෙමින්
පිටියෙන් ඉවත්ව ගියාය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර
20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 122ක් ලබාගත්තේය. තරගාවලිය පුරා ලකුණු අතර සිටි හර්ෂිතා මාධවී, මෙම තරගයේදීද ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිණිය බවට පත්වෙමින් පන්දු 41කදී ලකුණු 35ක් රැස් කළේ හතරේ පහරක් සමගිනි. තරග 7කදී ලකුණු 201ක් රැස් කරගෙන සිටින ඇය, මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභිණියන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ලකුණු 39ක් ඇතුළත ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාම ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්තද, නිලක්ෂි ද සිල්වා (14) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58කදී ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාධවී ශ්‍රී ලංකා කාන්තා ඉනිමට නව ජවයක් එක් කළාය. මෙම තරගයේදී ආරම්භක පිතිකාරිණියක් ලෙස ක්‍රීඩා කළ අනුෂ්කා සංජීවනී පන්දු 21කින් ලකුණු 26ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. ශ්‍රී ලංකා පිතිකාරිණියෝ පාකිස්තාන පන්දු යවන්නියන් හමුවේ නොබියව පිත්ත හැසිරවූහ. එහිදී නෂ්රා සන්ධු ලකුණු 17කට කඩුළු 3ක් බිඳ හෙළමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූවාය.
ශ්‍රී ලංකා කාන්තා පිල – පන්දුවාර 20කදී කඩුළු 6කට 122
(අනුෂ්කා සංජීවනී 26, හර්ෂිතා මාධවී 35, නිලක්ෂි ද සිල්වා 14, හසිනි පෙරේරා 13, නෂ්රා සන්ධු
17/3)
පාකිස්තාන කාන්තා පිල – පන්දුවාර 20කදී කඩුළු 6කට 121
(මුනීබා අලී 18, බිස්මා මරූෆ් 42, නීඩා ඩාර් 26, ඉනෝකා රණවීර 17/2)