Connect with us

Entertainment

මුත්තයියා මුරලිදරන්ගේ ”800” චිත්‍රපටයේ පෝස්ටරය එළිදකියි.

Published

on

ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ අතිදක්ෂ දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය ඇතුළත් චරිතාපදාන චිත්‍රපටයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඊට අදාළ පළමු ප්‍රචාරක පෝස්ටරය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම චිත්‍රපටියේ මුරලිදරන්ගේ චරිතයට පණ පෙවීමේ අවස්ථාව හිමිව ඇත්තේ ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක් වන Slumdog Millionaire චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වූ Madhurr Mittal හටයි. මෙම නව සිනමා පටය භාෂා ත්‍රිත්ත්වයකින් හැඩගැන්වෙනු ඇති. මෙය ”800” යනුවෙන් නම් කර ඇත්තේ මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙහි දවාගත් කඩුලු සංඛ්‍යාව සංකේතවත් කිරීම වෙනුවෙන්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ MS Sripathy නමැත්තෙක්. මෙම සිනමා පටයේ පළමු පෝස්ටරය අද දිනයේ දී නිකුත් කර ඇත්තේ මුත්තයියා මුරලිදරන්ගේ 51 වැනි ජන්ම දිනය අදට යෙදී තිබීම හේතුවෙන්. සින්නසාමි මුත්තයියා සහ ලක්ෂ්මී මුත්තයියා හට දාව මහනුවර නගරයේදී උත්පත්තිය ලැබූ මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක්, එක්දින කඩුලු 534ක්, පන්දුවාර 20 කඩුලු 13ක් සහ IPL කඩුලු 63ක් බිඳ හෙළා තිබෙනවා. 1992 සිට 2010 තෙක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය ද, 1993 සිට 2011 තෙක් එක්දින ක්‍රිකට් පිටියද , 2006 සිට 2010 තෙක් විස්සයි විස්ස තරග පිටිය සහ 2008-2014 තෙක් ඉන්දීය ප්‍රීමියර් ලීග් පිටිය ද මුරලිදරන්ගේ පන්දුවෙන් වර්ණවත් වුණා. මුරලිදරන් සිය මංගල ටෙස්ට් තරග වරම් දිනා ගනු ලබන්නේ 1992 අගෝස්තු 28 වැනි දින ඔස්ට්‍රෙලියාවට එරෙහිවයි. ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2010 ජුලි 18 වැනි දින අසල්වාසී ඉන්දියාවට එරෙහිවයි. 1993 අගෝස්තු 12 වැනි දින ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා මුරලි, 2011 අප්‍රේල් 02 වැනි දින එක්දින පිටියෙන් සමුගන්නේ අවසන් එක්දින තරගය ද ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරමින්. එක්දින කමීස නිල අංකය 08න් කවදත් වැජඹුණු මුත්තයියා මුරලිදරන් නමැති මේ අද්විතීය ක්‍රීඩකයා 2010 ඔක්තෝම්බර් 31 වනදා තම අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළේ ඔස්ට්‍රෙලියාවට එරෙහිවයි. මුත්තයියා මුරලිදරන් Right-arm off break පන්දු යවන්නෙකි.

Continue Reading