Connect with us

Sports

දසුන්ගෙන් ශතකයක් – ඉන්දීය කණ්ඩායමට ලකුණු 67ක ජයක්.

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 373ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය අතර නියමිත පන්දු ඕවර 50 තුළදී රැස්කරගත හැකිවූයේ කඩුළු අටක් දැවී ලකුණු තුන්සිය හයක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 72ක් රැස්කර ගත් අතර ඒ සඳහා ඔහු
පන්දු 80කට මුහුණ දුන්නා. සිය ඉනිමේදී පැතුම් එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව 11ක්. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු හතළිහකට මුහුණ දෙමින් ලකුණු 47ක් රැස්කර ගත් අතර ඔහුගේ එම ලකුණු අතරට හතරේ පහර නවයක් අන්තර්ගත වී තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් රැස්කර ගත් නායක දසුන් ශානක ඉන්දීය කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් සේ පෙනුණු මේ තරගය අවසන් ඕවරය දක්වා රැගෙන යන්නට සමත් වුණා. දසුන් ශානක සහ කසුන් රාජිත දෙදෙනා එක්ව නවවැනි කඩුල්ලට ලකුණු 100ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැගූ අතර කසුන් රාජිත දසුන් ශානක ශතකයක් රැස්කරගන්නා විට පන්දු 19කට මුහුණ දී රැස්කර ගෙන සිටියේ ලකුණු නවයක් පමණයි. ඔහුගේ වගකීම් කොටස හොඳින් ඉටු කරමින් කණ්ඩායමේ නායකයාට ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවනීය ස්ථානයකට ගෙන යන්නට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඉනිම ආරම්භයේ දී සෙමින් පන්දුවට පහර දුන් දසුන් ශානක සුපුරුදු පරිදි සිය ප්‍රහාරය වැඩි කරන්නට පටන් ගත්තා. සිය ලකුණු 108 ලබා ගැනීම සඳහා පන්දු 88කට මුහුණ දුන් දසුන් ඉන් පන්දු 12ක් හතරේ සීමාවට හරවා යවා තිබූ අතර තවත් පන්දු තුනක් හතරේ සීමාවට ඉහළින් යොමු කළා. පන්දු යැවීමේදී උම්රාන් මලික් ලකුණු 57ට කඩුලු 3ක් දවාගත් අතර මොහොමඩ් සිරාජ් ලකුණු 30කට කඩුලු දෙකක් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දවා ගත්තා. මේ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට බිංදුවක් ලෙසින් ඉදිරියෙන් සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.