Sports

ශ්‍රී ලංකාව කඩුළු 5ක විශිෂ්ට ජයක් පාකිස්තානය හමුවේ ලබාගනී.

Published

on

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවැත්වෙන තරගය කඩුළු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 121ක් ලබාගත්තා. පාකිස්ථාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් රිස්වාන් දැවී ගියේ ලකුණු 14ක් ලබා සිටියදීයි. ඒ ප්‍රමෝද් මධුෂාන්ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබාදෙමින්. දෙවන කඩුල්ල ලෙස ෆකාර් සමාන් දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටියදී. ලකුණු 30ක් ලබා සිටියදී බාබර් අසාම් පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංගට හැකියාව ලැබුණා. කුෂ්ඩිල් ෂා ලකුණු 4ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවකට පැතුම් නිස්සංක අතට උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත් වුණා. වනිඳු හසරංග යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඉෆ්තිකාර් අහමඩ් දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටියදී. එමෙන්ම පිටියට පිවිසි අසීෆ් අලි කිසිදු ලකුණක් නොලබා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වනිඳු හසරංග සමත් වුණා. ඊට අමතරව වනිඳු හසරංග විසින් උඩ පන්දුවක් ලබා ගනිමින් කිසිදු ලකුණක් නොලබා සිටි හසන් අලි 7 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කළා. ඒ මහීෂ් තීක්ෂණගේ පන්දුවාරයකදීයි. ලකුණු 26ක් ලබා සිටි මොහමඩ් නවාස් 9 වන කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියා. වනිඳු හසරංග කඩුළු 3ක් සහ මහීෂ් තීක්ෂණ සහ ප්‍රමෝද් මධුෂාන් කඩුළු 2 බැගින් දවාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 122ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් එය පන්දුවාර 17ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 124ක් ලබා ජයගත්තා. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට බවට පත් වූ පැතුම් නිශ්ශංක පන්දු 49කදී ලකුණු 55ක් රැස් කළ අතර, භානුක රාජපක්ෂ ලකුණු 24ක් සහ නායක දසුන් ශානක ලකුණු 21ක් රැස් කළා.

Trending

Exit mobile version