Sports

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අමිහිරි පරාජයක්

Published

on

කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩායේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය ලකුණු 31කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.

කාසියේ වාසිය දිනා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 116ක්.

එහිදී නායිකා ෆාතිමා සානා ලකුණු 30ක් සහ නිදා දාර් ලකුණු 23ක් රැස්කරගත්තා.

පන්දුයැවීමේදී උදේශික ප්‍රබෝධනි, සුගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු කඩුලු තුන බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවි ලබාගැනීමට හැකි වූ‌යේ ලකුණු 85ක් පමණයි.

එහිදී නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 20ක් ලබාගත්තා.

වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දුයැවීමේදී සාදියා ඉක්බාල් කඩුලු තුනක් ද ෆතිමා සනා, ඔමයිමා සොහායිල් සහ නෂ්රා සන්ධු කඩුලු දෙක බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

පාකිස්ථානය වෙනුවෙන් ලකුණු 30ක් සහ කඩුලු දෙකක් දවාගත් ෆතිමා සනා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනාගත්තා.

A කාණ්ඩායේ ශ්‍රී ලංකාව සහභාගීවන ඊළඟ තරගය හෙට (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

ත්‍යාග ප්‍රදාන උත්සවයෙන් අනතුරුව අදහස් පළ කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කියා සිටියේ, අපට හොඳම ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි නම් අපට ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බවයි.

“මම සනාට (පාකිස්ථාන නායිකා ෆාතිමා සනා) සුබ පතන්න කැමැතියි. ඇය හොඳින් ක්‍රීඩා කළා. ඇත්තටම ඒක පාකිස්ථානයට හොඳයි. අපිට ලකුණු හඹා යන්න ටිකක් අමාරු වුණා. නමුත් අපි මේවාට හැඩගැහෙන්න ඕනේ. මේවා පිතිකාරිනියන්ට හොඳ අවස්ථාවක්. අපට නැවතත් තරගාවලියට අවතීරණ වෙන්න පුළුවන් කියලා හිතනවා. මීට වඩා හොඳට පන්දුවට පහර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විකට් මන්දගාමී කියලා කියන්න බෑ. අපි හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕනේ. අප හොඳින් ක්‍රීඩා කරනවා නම් ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කළ හැකි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version