Local News

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ දහයක් සිලින්ඩරයෙන්

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ මන්ත්‍රි කණ්ඩායම පිහිටුවාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10 ක් සන්ධානගතව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘සිලින්ඩරය’ ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කරන බව හිටපු ඇමැති රමේෂ් පතිරණ මහතා කියයි.

කොළඹ 07, මල් පාරේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට හිටපු ඇමැතිවරුන් වන කංචන විජේසේකර සහ අනුරාධ ජයරත්නද යන මහත්වරුද සහභාගි විය.

මෙම සන්ධානයේ මැතිවරණ කටයුතු මෙහෙයවීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය ලබාදෙන බවද හිටපු ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට මෙලෙස සන්ධානගත වන බවත්, ඊට අදාළ නාමයෝජනා කටයුතු ඉදිරි දින දෙකක කාලය තුළදී අවසන් කරන බවත් හිටපු ඇමැති කංචන විජේසේකර මහතා කීවේය.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සංශෝධිත ලකුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සඳහා වෙන් කරන ලද ලකුණු 83 ක් සහ දේශපාලන පක්ෂ සඳහා මෙතෙක් වෙන් නොකරන ලද ලකුණු 115 ක් මෙලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

දේශපාලන පක්ෂ සඳහා මෙතෙක් වෙන් නොකරන ලද ලකුණු අතර එළදෙන, පාන් ගෙඩිය, පොල්කටු හැන්ද, චොකලට්, කේක් ගෙඩිය, සවල, ටොෆිය, අයිස් ක්‍රීම්, ඉරිඟු කරල, මැස්සා, වවුලා, මීයා, කොස් ගෙඩිය, කිඹුලා ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version