Sports

මේ ගමන යන්නේ කප් එක ගේන්නමයි – දසුන් ශානක කියයි.

Published

on

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව ගියා. මෙවර සත්කාරකත්වය හිමි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු ස්ථානය දිනා ගත් හොංකොං කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කරයි.

මෙතෙක් පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතා 5ක් දිනා ඇති ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී පෙරට පැමිණිය හැකි කැපී පෙනෙන කණ්ඩායමක් බවට විචාරක පැසසුම් ලබා සිටිය දී තරගාවලියට සහභාගී වීම විශේෂත්වයකි.ශ්‍රි ලංකා ක්‍රිකට් පිල දැන් ලෝක මට්ටමේ සිටින ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි පරිණත තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානක පැවැසීය. අති දක්ෂ යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනකු සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ තත්ත්වය දිගටම පවත්වාගත යුතුව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

“අද ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හොද තත්ත්වයක සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි අවුරුදු 10ට ක්‍රිකට් ක්‍රීඩකයන් ආයෝජනය කොට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ඉතාම ශක්තිමත්. මේ තරගාවලියට හොඳ සූදානමකින් අප යන්නේ. අන්තර් පළාත් තරගාවලිය පැවැත්වුණා. එයට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 ආරාධිත තරගාවලියක් පැවැත්වූවා. එයට අමතරව පුහුණු සැසිය හොඳින් කළා. දක්ෂ පිතිකරුවන් හා හොද පන්දු යවන්නන් අප සතුයි. ඒ නිසා අපේ කණ්ඩායම ජයග්‍රාහී කණ්ඩායමක්. කුසලානය රැගෙන එන්නයි මේ ගමන යන්නේ.” දසුන් ශානක පැවැසීය.

මේ 27 වැනිදා ආරම්භ වන ඇෆ්ගනිස්තානය සමග මුල්ම තරගයෙන් අනතුරුව ඉදිරියට යද්දී පිතිකරුවන්ට විශාල කාර්යභාරයක් ඇති බව‍ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවැසීය. මූලික වටයේ ඉතිරි තරග සියල්ල හොදින් නිමාකොට තරගාවලිය දිනවීමේ ක්‍රියාවලියේදී පිතිකරුවන් ඉදිරියට පැමිණීම අත්‍යවශ්‍ය බව දසුන් ශානක පෙන්වා දුන්නේය.

“තරගයෙන් තරගය ක්‍රීඩා කරලා ඉදිරියට යන්න අපේක්ෂා කරනවා. මේ තරගාවලියට යන්නේ අපේ මව්බිමේ ඉන්න හොඳම ක්‍රීඩක පිරිසයි. එයට අමතරව තේරීම් කමිටුවෙන් වෙන කවුරුවත් ඉල්ලන්න මට අවශ්‍ය නෑ.තේරීම් කමිටුව හොඳ කාර්යභාරයක් කරලා තියෙනවා. හොඳ කැප්ටන් කෙනෙක්, හොද කෝච් කෙනෙක් හා හොඳ තේරීම් කමිටුවක් එක්ක ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉදිරියට ගන්න පහසුයි. මා නායකත්වයට පැමිණි කාලය තුල දක්ෂයන් කිහිප දෙනකුම ඉදිරියට ආවා. පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, භානුක රාජපක්ෂ ඒ අතුරින් කිහිපදෙනෙක්. කුසල් මෙන්ඩිස් හා ධනංජය සිල්වා කලින් සිට ක්‍රීඩා කරලා හිටියත් ඔවුන් දැන් දක්ෂතා අතර සිටීම ශක්තියක්. මගේ බලාපොරොත්තුවක් තියෙනවා විස්සයි 20 ලෝක කුසලානයක් ජයගන්න. ඒකට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයන් අප සතුව සිටිනවා. රට වෙනුවෙන් ඒ දේ කිරීම අපේ එකම අපේක්ෂාවයි.” දසුන් ශානක ප්‍රකාශ කළා.

“වසර 2019දී නායකත්වයට පත් වෙද්දී මෙවැනි කණ්ඩායමක් සමග තරග දිනන්න පුළුවන් වෙයි කියලා කවුරුත් හිතුවේ නෑ. විස්සයි 20 පිලේ දක්ෂතා අතර අඩුවක් තිබුණේ නැතත් යම් කෙටි පසුබෑමක් තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස්. අප මානසිකව හොඳ මට්ටමක සිටිනවා.” දසුන් ශානක සදහන් කළේය.

ක්‍රීඩකයන් 20කගෙන් යුත් ආසියානු කුසලාන සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පුහුණුවීම් අතරතුර වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහු ආසියානු කුසලාන තරගාවලියට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේය. එමෙන්ම වේග පන්දු යවන කසුන් රාජිත හා බිනුර ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කෙරුණහ. නම් කළ සංචිතයේ සිටින දිනේෂ් චන්දිමාල්, නුවනිඳු ප්‍රනාන්දු හා නුවන් තුෂාර පොරොත්තු ක්‍රීඩකයන් බැවින් කණ්ඩායම සමඟ ඩුබායි බලා පිටත් නොවෙති.
මූලාශ්‍ර – දිනමිණ

Trending

Exit mobile version