International

පළමු වටයේ පරාජයේ වාඩුව ගැනීමට ශ්‍රී ලංකාවට හොඳම අවස්ථාව වන තීරණාත්මක තරගය අද.

Published

on

බංග්ලාදේශයට එරෙහිව ලද කඩුලු 2 ක තියුණු ජයග්‍රහණයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද එම තරග වටයේ පළමු තරගය සඳහා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගී වනු ඇත. එම තරගයේ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදීන් බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානු කණ්ඩායමයි. මූලික වටය යටතේ කණ්ඩායම් දෙක මුණ ගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාව පරදා ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමත්වූ බැවින් එම පරාජයේ වාඩුව යළි ලබා ගැනීමට අද දිනයේදී ශ්‍රී ලංකාවට හොද අවස්ථාවක් හිමිව තිබේ. මෙවර තරගාවලියේදී වැරෙන් පන්දුවට පහර දෙන මෙන්ම පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව ඇති පන්දු යවන්නන් සහිතව සමබර කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත්ව සිටින ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 8ක පරාජයක් ලබද්දී බංග්ලාදේශය කඩුලු 7ක පරාජයක් අත් වින්දේය. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය ලකුණු 180කට වඩා වැඩි ඉලක්කයක් හඹා යමින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීමත් නිසා වෙනදාට වඩා විශ්වසනීයත්වයක් මේ වන විට කණ්ඩායම තුළ නිර්මාණය වී තිබේ. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ශ්‍රී ලංකාවට සහභාගි වීමට නියමිත ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහි මීළඟ තරග සඳහාද හොඳ මානසික මට්ටමක් ගොඩ නඟා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හොඳ වේදිකාවක් නිර්මාණය කරනු ඇත. අද තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් මූලික කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්වේ. එහිදී පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 5 දී කඩුලු ලබා නොදෙමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීම මෙන්ම 16 වැනි පන්දුවාරයේ සිට 20 වැනි පන්දුවාරය දක්වා වූ අධිවේගීව ලකුණු රැස් කරනු ලබන කාල සීමාවේදී වැඩි ලකුණු සංඛාවක් ලබා ගැනීමද ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිතකරය. කෙසේ වෙතත් ඇෆ්ගන් කඳවුර සතු ප්‍රබලම පන්දු යවන්නන් වන්නේ මුජබර් රෙහමාන් සහ රෂීඩ් ඛාන්. ඔවුන් හමුවේ කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීම, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මූලික අභිප්‍රාය විය යුතුය. බංග්ලාදේශයට එරෙහි තරගය ජය ගත්තද ලකුණු 183 ක ලකුණු පුවරුවක් කරා බංග්ලාදේශ කණ්ඩායම ඇදී යද්දී ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් යොදා ගැනීමෙහි වෙනදා නොදුටු අඩුපාඩුවක් දැක ගත හැකි විය. අසිත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න හොඳින් පන්දු යැව්වත් අසිත ප්‍රනාන්දුගේ පන්දුවාර 4දී ලකුණු 51ක් උදුරා ගැනීමට බංගලි පිතිකරුවෝ සමත්වූහ. තම මංගල පන්දුවාරය ලකුණු 5කට සීමා කරමින් අවසන් කිරීමට අසිත සමත්වුවත් ඊළඟ පන්දුවාරවලදී ඔහුගේ පන්දුවලට දැවැන්ත පහර වලින් සංග්‍රහ කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ පියවර ගත්හ. ශ්‍රී ලංකාව දෙසින් තවමත් කණස්සල්ලට හේතුවක් ඇත්තේ නම් පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක සිය සුපුරුදු රිද්මයන් කරා අනුගත වීමට තවමත් අසමත්ව සිටීමයි. එබැවින් අද තරගයේදී ගුණතිලකගේ ස්ථානය බොහෝවිට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ධනංජය ද සිල්වා වෙත හිමිවීමට වැඩි ඉඩ කඩක් ඇත. තරගය අද රාත්‍රී 7.30ට ඇරඹීමට නියමිතය.

Trending

Exit mobile version