Sports

දසුන් ශානක පරාජයට හේතු කියයි.

Published

on

ඔස්ට්‍රේලියාවේ ගීලෝන් නුවර සයිමන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී නැමීබියාවට එරෙහිව අද පැවැති තරගයේදී ලකුණු 55කින් පරාජය වීමට හේතුව අධිවේගී පන්දුවාර 6 තුළ කඩුළු 3ක් බිඳවැටීම බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයෙන් අනතුරුව කියා සිටියේය. මුළු ලකුණු සංඛ්‍යාව 12ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 6කට දැවී ගියේ David Wiese යැවූ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදීය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ Ben Shikongo තෙවැනි ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලදී පැතුම් නිශ්ශංක ලකුණු 9කට සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පීඩනය වැඩි කළේය.“160ක් වගේ ලකුණු සංඛ්‍යාවක් හඹායෑමේදි අපිට අධිවේගී ඕවර 6 තුළ කඩුලු 3ක් අහිමිකර ගන්න බැහැ. ඒ වගේ දෙයක් වුණාම නැවත තරගයට අවතීර්ණ වෙන්න හරිම අමාරුයි. මීට කලින් අපි එහෙම කරලා තියෙනවා. ඒත් අද අපිට එහෙම කරන්න බැරි වුණා. ඒකෙ පූර්ණ ගෞරවය නැමීබියානු පන්දු යවන්නන්ට හිමිවිය යුතුයි. ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැවුවා.” යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය. පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියානු කණ්ඩායමේ කඩුළු 6 ක් ලකුණු 93කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33කදී ලකුණු 69ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ  Jan Frylinck (44) සහ JJ Smit (නොදැවී 31) ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවූ ඉලක්කයක් කරා නැමීබියානු කණ්ඩායම කැඳවාගෙන ගියහ. “ලකුණු 160ක් කියන්නෙ මේ තණතීරුවෙ එතරම් පහසු ඉලක්කයක් නෙමෙයි. ඔවුන් හතරේ සීමාව කෙටි ප්‍රදේශවලින් වැඩිපුර ලකුණු රැස් කළා. අපේ පන්දු යවන්නෝ අවසන් ඕවර කිහිපයේදී නිවැරදි එල්ලයකට පන්දු යැව්වෙ නැහැ. ඒකෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා මම හිතනවා. මුල් කඩුළු 6 බිඳ වැටුණාම අපි උත්සාහ කළ යුතුව තිබුණේ කෙසේ හෝ 7 වැනි කඩුල්ලත් දවාගන්න. ඒත් අපේ පන්දු යවන්නෝ ඒ වෙලාවෙ කඩුල්ලක් දවාගන්න පුළුවන් විදියේ පන්දු යැවුවේ නැහැ. අත්දැකීම් සහිත ක්‍රීඩකයෝ විදියට අපිට ඒ ගැන වැඩි අවධානයක් යොමුකරන්න තිබුණා.” යැයිද දසුන් වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version