Local News

තරගාවලි ජය සොයා සිංහයින් අද තරග බිමට

Published

on

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගය අද (07) ප.ව. 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ ප්‍රථම තරගය පසුගිය 02 වැනිදා පැවැති අතර එම තරගය ලකුණු සමවීම හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුණා.

දෙවැනි තරගය පසුගිය 04 වැනිදා පැවැති අතර එම තරගයෙන් ලකුණු 32ක විශිෂ්ට ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගාවලියේ වැඩි ගෞරවයක් තමන් සතුකර ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව අද (07) පැවැත්වීමට නියමිත තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන්නේ තරගාවලි ජයක් අපේක්ෂාවෙන්.

කෙසේ වෙතත් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වුවහොත් තරගාවලි ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන අතර, ඉන්දීය කණ්ඩායම ජයගතහොත් තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වනු ඇති.

එමෙන්ම තම අභිමානය රැකගැනීමට නම් මෙම තරගයේ ජය ඉන්දීය කණ්ඩායමට අනිවාර්යයි.

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම (2023) ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසාන මහා තරගයේදී එකිනෙකා අවසාන වරට මුණගැසුණු අතර එම තරගයෙන්ද ඉන්දීය කණ්ඩායමට කඩුළු 10ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මෙම තරගාවලිය දෙරට අතර පැවැත්වෙන 21වන තරගාවලිය වනවා.

මෙයට පෙර දෙරට අතර ද්විපාර්ශ්වික තරගාවලි 20ක් පවත්වා තිබෙනවා.

ඉන් තරගාවලි 15ක ජය ඉන්දියාව සතුවද්දී 1993 දී සහ 1997දී පැවති තරගාවලි 2ක ජය පමණක් ශ්‍රී ලංකාව සතුවුණා.

තරගාවලි 3ක් විසඳුමකින් තොරව අවසන් වුණා.

යම්කිසි හෙයකින් අද (07ද) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් එය ශ්‍රී ලංකාව ලබන තෙවැනි තරගාවලි ජය ලෙස ඉතිහාසයට එක්වන අතර ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබන්නේ අවුරුදු 27කට පසුවීම ද විශේෂත්වයක්.

Trending

Exit mobile version