Local News

ඊයේ පැවති LPL තරගවලින් B-Love Kandy කණ්ඩායමට හා Dambulla Aura කණ්ඩායමට ජය.

Published

on

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරග දෙක ජයගැනීමට B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම සමත් වුණා. ඊයේ පළමු තරගය ලෙස පැවත්වුණ B-Love Kandy කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබාගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි B-Love Kandy කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණූ 178ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Mohammed Haris පන්දු 51කදී ලකුණු 81ක් රැස් කළ අතර Fakhar Zaman සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 3ක් සහ ඩිල්ෂාන් මධුශංක සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව ලකුණු 179ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි. Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Shoaib Malik ලකුණු 55ක්, තිසර පෙරේරා ලකුණු 36ක් සහ Chris Lynn ලකුණු 27ක් රැස් කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි වුණා. සුපිරි පන්දු යැවීමක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10කට කඩුලු 3ක් බිඳ හෙළුවා. මේ අතර ඊයේ රාත්‍රීයේ පැවති Dambulla Aura සහ Colombo Strikers අතර තරගයෙන් ලකුණු 50ක ජයක් වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Aura කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 166ක් රැස් කරගැනීමට සමත් වුණා. Ben McDermott ලකුණු 69ක් හා Alex Ross ලකුණු 52ක් රැස් කරගැනීමට සමත් වුණා. මතීෂ පතිරණ කඩුලු 2ක් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 116ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Hasan Ali කඩුලු 3ක් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු, දුෂාන් හේමන්ත සහ Noor Ahmed කඩුලු 2 බැගින් දවාගත්තා.

Trending

Exit mobile version