Local News

හිටපු ජනපති ගෝඨාභය යළි දිවයිනට පැමිණෙයි.

Published

on

ඊයේ රාත්‍රි 11.47 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 දරන යානයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබුණා. එහිදී ගුවන් තොටුපලේ ආරක්ෂාව ද දැඩිකර තිබූ බවයි වාර්තා වන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ පිහිටි නිවසක් ඔහුට ලබාදීමට නියමිතව ඇති අතර, ඔහු මේ වනවිට කොළඹ පිහිටි නිවසක රැඳී සිටින බවයි වාර්තා වන්නේ. මෙරට පැවති අරගලකාරී වාතාවරණය හේතුවෙන් පසුගිය ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඔහු තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණියේ පසුගිය අගෝස්තු 11 වැනිදායි. ඒ අනුව ඔහු මාසයකුත් දින විස්සක කාලයක් දිවයිනෙන් බැහැරව සිටිනු ලැබුවා. මේ අතර හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැති ඇමතිවරුන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා. ඒ අතර අමාත්‍ය ටිරාන් අලස්, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙරටට පැමිණි හිටපු ජනාධිපතිවරයා හමු වූ පොහොට්ටු පාක්ෂිකයින් ඔහු සමඟ කෙටි පිළිසඳරක ද නිරත වුණා. පසුව හිටපු ජනාධිපතිවරයා පිටත්ව ගියේ කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි රජය විසින් ලබාදෙනු ලැබූ නිවසක් වෙතයි.

Photo credit – (ටී.කේ.ජී.කපිල, යොහාන් භාසුර, අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)

Trending

Exit mobile version