Local News

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව හෙට.

Published

on

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දිනයක් පමණයි. අලුත් අවුරුදු උදාව හෙට අපරභාග 2.59ට සිදුවනවා. එදින පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, ආහාර පිසීමේ නැකත උදාවන්නේ අපරභාග 3.29ටයි. වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 5.05ට යෙදී තිබෙනවා. හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 9.41ට ද, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් 17 වන සඳුදා පූර්ව භාග 6.28ට ද සිදු කළ යුතු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ. ඒ අනුව අලුත් අවුරුද්ද උදාවීමට පෙර දිනය වන අද දිනයේ බොහෝ පිරිසක් තම අවශ්‍යතා සපුරාගැනීම සදහා ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙමින් සිටිනවා. මීට අමතරව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදුකරන පිරිස් තම ගම්බිම් බලා යාම සඳහා ඊයේ රාත්‍රියේ මෙන්ම අද අලුයමත් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළට සහ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් පර්යන්තයට පැමිණෙමින් සිටී. මීට අමතරව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ද මගී ජනතාව අද අලුයම පැමිණ සිටි අතර ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ සියලු ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව ගම්බිම් බලා යාම සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවය. මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට යන දෙදින තුළ දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව අද දිනයේ සිට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හට ඥාතීන් හමුවීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ එම අවස්ථාව හිමිවන බවය.
 

Trending

Exit mobile version