Sports

සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කෙරේ

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියට ද ඔහු සිය දායකත්වය ලබාදීමට නියමිතයි.

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධුරයෙන් ඉල්ලා අස් වුණා.

අනතුරුව පැවැති ඉන්දීය තරගාවලියට සහ එංගලන්ත ටෙස්ට් තරගාවලියට වැඩ බලන පුහුණුකරු ලෙසයි සනත් ජයසූරිය පත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

ඒ අතර කාලයේදී නව පුහුණුකරුවකු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව ද ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් සනත් ජයසූරියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව වසර 27කට පසු ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.

ඉන් අනතුරුව එළැඹී එංගලන්ත ටෙස්ට් තරගාවලිය දෙකට එකක් ලෙස පරාජයට පත් වූවත්, අවසන් තරගය කඩුලු 08කින් ජයගැනීමටයි සමත් වුණේ.

එය එංගලන්තයට එරෙහිව වසර 10කට පසු ලැබූ ටෙස්ට් ජයග්‍රහණය වනවා.

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙවන තරගය එම ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 26වැනිදා ආරම්භ වනවා.

Trending

Exit mobile version