Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අයර්ලන්තය හමුවේ අවදානමක

Published

on

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් ලකුණු 15කින් ජයගැනීම අයර්ලන්ත කාන්තා කණ්ඩායම පෙරේදා (18) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 255ක්.

එහි දී ලියාහ් පෝල් ලකුණු 81ක් සහ එමි හන්ටර් ලකුණු 66ක් ලබාගත්තා.

පන්දුයැවීමේ දී සුගන්ධිකා කුමාරි සහ අචිනි කුලසූරිය කඩුලු දෙක බැගින් බිඳහෙළීමටයි සමත් වු‌ණේ.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 256ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 240ක් පමණයි.

එහි දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 105ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් රැස් කළ තෙවන ක්‍රීඩිකාව ලෙසයි ඇය වාර්තාපොත් අතරට එක්වූයේ.

නිලක්ෂි සිල්වා ලකුණු 24ක් සහ චමරි අතපත්තු ලකුණු 22ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී අර්නේ කර්ලි කඩුලු 03ක් දවා ගැනීමටයි සමත් වුණේ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය අයර්ලන්ත කණ්ඩායම ජයගනු ලැබුවේ, ලකුණු කඩුලු 03කින්.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය දෙකට – බින්දුව ලෙස ජයගැනීමට අයර්ලන්තය සමත් වුණා. ‌

තෙවන සහ අවසන් තරගය හෙට බෙල්ෆාස්ට් හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර 2025 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමට වැඩි ඉඩක් පවතින බවයි, ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

එම තරගාවලිය සඳහා ක්‍රියාත්මක වන ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම 06 අදාළ තරගාවලියට ඍජුව සුදුසුකම් ලබනවා.

සෙසු කණ්ඩායම් ද්විත්වය තෝරාගනු ලබන්නේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් එක් කණ්ඩායමට තරග තුනකින් සමන්විත තරගාවලි 08ක් ක්‍රීඩා කළ යුතුයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ, එක් තරගයක් පමණයි. ලෝක කුසලාන තරගාවලියට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මේ වනවිටත් සුදුසුකම් ලබා තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකාව ආදළ ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේ රැඳි සිටින අතර නවසීලන්තය හය වන ස්ථානයෙත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අට වන ස්ථානයෙත්, බංගලාදේශ කණ්ඩායම නව වන ස්ථානයෙත් රැඳි සිටිනවා.

මෙම කණ්ඩායම් ත්‍රිත්වයට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවත් තරග හය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා අභිබවා යාමේ හැකියාව පවතින බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තවදුරටත් ඍජු සුදුසුකම් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට අවශ්‍ය නම් අයර්ලන්තය සමඟ පැවැත්වෙන තෙවන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.

Trending

Exit mobile version