Local News

ශ්‍රී ලංකාව සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කළ යුතු බව ජනපති කියයි.

Published

on

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ලෝක බලවතුන්ගේ අරගලවල දී එක් පිලකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, “අද ඔබට ඉතා වැදගත් දිනයක්. අද ඔබ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කරනවා. නමුත් එය ඔබගේ ජීවිතයේ අලුත් ආරම්භයක්. අද ඔබ සියළුදෙනාම යුද්ධ හමුදාවේ නිත්‍ය සාමාජිකයන් ලෙස සේවය ආරම්භ කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ නායකයන් ලෙස අද සිට ඔබටත් වගකීමක් තිබෙනවා. යුද හමුදාව හා එහි සෙබළුන් ආරක්ෂා කිරීමේ වගකිම ඒ අනුව ඔබට පැවරෙනවා. අද ඔබට මෙම වගකීම පවරන්නේ ජනරජයක් ලෙසයි. එය ආරක්ෂා කිරීම ඔබේ වගකීමක්. ජනරජය සතුරාගෙන් ආරක්ෂා කිරීමේ වගකීමත් ඔබට පැවරී තිබෙනවා. සැමවිටම ඔබ පුහුණු කරන ආයතනයේ ගෞරවය සහ කීර්ති නාමය ආරක්ෂා කළ යුතුයි. රටක් ලෙස අපි ලෝක බලවතුන් සමග එක පිලකට වෙන් වී නෑ. ලොව බලවතුන් සමග අපි ගිවිසුම්ගත වෙලා නෑ. මොකද අපි දූපත් රාජ්‍යයක්. අපි සියලු රටවල් සමඟ මිත්‍රශිලිව කටයුතු කළ යුතුයි.” යනුවෙන්. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් තුන්සිය පනස් එක් දෙනෙකු (351) අධිකාරියට පත් කිරීම අද සිදු කෙරුණු අතර විදේශ රටවල් හතරක කැඩෙට් නිලධාරීන් ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයක්.

Trending

Exit mobile version