Local News

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේදී ප්‍රබල මලයාසියානු කණ්ඩායම පරදවයි.

Published

on

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් මලයාසියාවට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ඊයේ (06) සමත් වුණා. ඒ අනුව එම තරගයෙන් ලකුණු 55ට 53ක් ලෙස තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ දෙවැනි වටයේ ඊ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය ආරම්භයේ පටන් තියුණු මුහුණුවරක් ගත් අතර එහි පළමු කාර්තුවේදී ලකුණු 15ට 13ක් ලෙස පෙරමුණ ගැනීමට මලයාසියාවට හැකි වුණා. කෙසේ වෙතත් දෙවැනි කාර්තුවේදී සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල ලකුණු 17ට 15ක් ලෙස එය ජයගනිද්දී තීරණාත්මක තෙවැනි කාර්තුවද ලකුණු 15ට 8ක් ලෙස දැවැන්ත ලකුණු පරතරයක් සහිතව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. අවසන් කාර්තුවේදී නැවතත් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවකට පිවිසි මලයාසියානු ක්‍රීඩිකාවෝ එම කාර්තුව ලකුණු 15ට 10ක් ලෙස ජයගත්ත ද සමස්ථයක් ලෙස ලකුණු 55ට 53ක් ලෙස තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා. මෙම තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය අද සිංගප්පූරුව සමගින් පැවැත්වීමට නියමිත යි.

Trending

Exit mobile version