Local News

රුපියල් ට්‍රිලියන හතරක් ඉක්ම වූ විසර්ජන පනත් කෙටුම්පත (ඡායාරූප සහිතයි)

Published

on

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 2022 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත නැවත සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව 2022 වසර සඳහා වන මුළු සංශෝධිත ප්‍රතිපාදනය රුපියල් බිලියන 4,672 ක්. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මෙරට රාජ්‍ය වියදම රුපියල් ට්‍රිලියන හතරක සීමාව පසුකරන විසර්ජන පනත් කෙටුම්පතක් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති. හෙට දිනයේ ඉදිරිපත් කරන මෙම විසර්ජන පනත් කෙටුම්පත් අනුව රජයේ වර්තන වියදම් රුපියල් බිලියන 2,249ක් වන අතර එම ගණනය කිරීම සිදු කර ඇත්තේ පොලී ගෙවීම් අත්හැර දමමින්.

එමෙන්ම 2022 වසර සඳහා වන රජයේ මුළු ප්‍රාග්ධන වියදම මෙම විසර්ජන පනත් කෙටුම් කෙටුම්පතට අනුව දැක්වෙන්නේ රුපියල් බිලියන 1,809ක් වශයෙන්. එම වසර සඳහා වන රජයේ පොලී වියදම රුපියල් බිලියන 1,334ක් ලෙස හෙට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වනවා. මෙම විසර්ජන පනත් කෙටුම් කෙටුම්පතට සිදුකරන ලද සංශෝධන මගින් 2022 වසර සඳහා වෙන් කළ ප්‍රතිපාදන 20% කින්
වැඩි වී ඇති බව publicfinance.lk වෙබ් අඩවිය පවසනවා. 2022 වසර සඳහා අනුමත කරන ලද අයවැය සමස්ථ වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,899ක් වශයෙන්. ඒ අනුව හෙට දිනයේ ඉදිරිපත් කෙරෙන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතට 2022 වසර සදහා අනුමත අයවැයට වඩා රුපියල් බිලියන 773ක මුදලක් අතිරේකව එක්වී තිබෙනවා. එමෙන්ම මෙම සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතෙන් පෙන්වා දෙනු ලබන්නේ 2022 වසරේ අනුමත අයවැය හිඟය සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය ආදායම 2021 වසරට සාපේක්ෂව 107% කින් වර්ධනය කළ ගත යුතු බවටයි. 2022 වසරේ අනුමත අයවැය අනුව රාජ්‍ය ආදායම් සහ රාජ්‍ය වියදම් සංසන්දනය කිරීමේදී අයවැය හිඟය රුපියල් බිලියන 1,638ක් වන අතර එය නව ගණනය කිරීම් අනුව රාජ්‍ය වියදම් සහ රාජ්‍ය ආදායම් සංසන්දනයේදී රුපියල් බිලියන 2,261ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ 2022 වසරේ රජයේ සමස්ථ ආදායම් අයවැය ඉලක්ක වලට ළඟා වුවද එය එම වසරේ අයවැය පරතරය වන රුපියල් බිලියන 2,412 ට වඩා පහළ මට්ටමක පවතින බවයි.

Trending

Exit mobile version