Local News

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කියයි.

Published

on

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදීයි. එහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ කාලසීමාව අවුරුදු දෙක හමාර දක්වා අඩු කර ඇති බවය. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එය වසර හතරහමාර දක්වා වැඩි කළ බවත් ඒ පිළිබදව 22 වන සංශෝධනයේ කිසිදු සඳහනක් කර නොතිබීම සම්බන්ධයෙන්ම න්ත්‍රීවරුන් විමසා තිබෙනවා. එම අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් එය තමන් විසින් සිදු කළ යුතු අතර දැනට ඒ සඳහා කිසිදු සූදානමක් නොමැති බවයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ විදේශ රටවල සහාය ලබා ගැනීමට නම් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතු බවයි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විමසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවට කොන්දේසියක් පනවා ඇත්ද යන්න පිළිබඳවයි. කෙසේවෙතත් මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡාවක නිරත විය යුතු බවට එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී කණ්ඩායමට පවසා ඇත.

Trending

Exit mobile version